ඊයේ රාත්‍රියේ විදුලිය විසන්ධි කිරීමේ කාල සටහන දුටු විට මගේ කෝපය ‘අධික‘ විය! පැය 10 ක්. එසේම, දරුවන්ට තමන්ගේ පාසලේ සහ නිවසේ විදුලිය විසන්ධි වන වේලාවන් වෙනස් වන නිසා එය පැය 16 ක් විය. සිදුවන්නේ කුමක්ද? මම බොහෝ කෝපයට පත් වූ අතර මට නිදා ගැනීමට නොහැකි විය, මට යාච්ඤා කිරීමට පවා නොහැකි විය! අවසානයේදී මම සන්සුන් වූ අතර දෙවියන්වහන්සේ මට කතා කරන බව මට දැණුනි.

ශු. බයිබලයේ මෙසේ පවසයි: “තවද දෙවියන්වහන්සේට ප්‍රේම කරන්නන්ට, එනම්, උන්වහන්සේගේ අභිප්‍රාය ලෙස කැඳවනු ලැබූවන්ට, සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව අපි දනිමුව” කියායි. (රෝම 8:28)

විදුලිය විසන්ධි කිරීමේදී හොඳ දෙයක් තිබේද? පිළිගන්න අමාරුයි. එහෙත් දෙවියන්වහන්සේ මෙසේ පවසද්දී මෙය සත්‍යයක් බවට මම නිසැකව දන්නෙමි. මගේ දෙවියන්වහන්සේ කවදාවත් බොරු කියන්නේ නැත. උන්වහන්සේ විශ්වාසවන්ත බව මම දනිමි… උන්වහන්සේ විශ්වාසවන්ත බව නැවත නැවතත් මට පෙන්වා දී තිබෙන සේක.

මවක් ලෙස, දෙවියන්වහන්සේ මට පැවසුවේ කුමක්ද?

1. මගේ කලකිරීම මගේ දරුවන් මත නොතබන්න. මට මගේ සැමියා, පවුලේ අය සහ මිතුරන් සමඟ කතා කළ හැකිය. නමුත් මගේ කලකිරීම් වලින් කුඩා දරුවන්ව ආරක්ෂා කරන්න. ටිකක් ඉවසන්න, ඔවුන්ට ටිකක් අඩුවෙන් බනින්න, එයාලටත් අමාරුයි…

2. ළමයින් සමඟ සංනිවේදනය කර, මේ සියල්ල දුෂ්කර බව පිළිගෙන, පසුව ඉදිරියට යන්න. දෙවියන්වහන්සේ මෙම දරුවන් අපට භාර දී ඇති අතර ඔවුන්ගේ ළමා කාලය ප්‍රීතිමත් කිරීමට හැකි සෑම දෙයක්ම කළ යුතුය. පිටත අඳුරු වුවත්, අපට ප්‍රීතියෙන් සිටිය හැකි බව ඔවුන්ට පෙන්වා දෙන්න. මට බයිබල් පදයක් මතක් වුණි –

“මක්නිසාද අත්තික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි ස්වාමීන්වහන්සේ කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි. ස්වාමිවූ යෙහෝවඃවහන්සේ මාගේ බලයය, උන්වහන්සේ මගේ පාද මුවදෙනුන්ගේ පාදවලට සමානකොට, මාගේ උසස්ථාන පිට යන්ට සලස්වනසේක.”  (හබක්කුක් 3:17-19)

මම ඊයේ හොඳටම කෝපයට පත් වූ නිසා අද උදෑසන අවදි වෙන්න ටිකක් බය වූයෙමි. මම තවමත් කෝපයෙන් සිටින නමුත් මගේ හදවතට සැහැල්ලුවක් දැනේ. මගේ දෙවියන්වහන්සේ සැබෑ ය!

නිර්මලී රෙෆියුජ්