කර්තෘ: ජෝයි - ඈන් වුඩ්, බාබඩෝස්

දෙවියන්වහන්සේ දෙස බලා සිටීම පහසු නොවේ. එය බැංකුවක පෝලිමේ දිග සහ අවසාන ඉලක්කය වන මුදල් ගෙවන්නා හෝ අයකැමියා ඔබට දැකිය හැකි පෝලිමක සිටගෙන සිටීම හා සමාන නොවේ. ඔබට බලා සිටීමට සිදු වුවත් අවසානය දැකිය හැකි බැවින් ඔබගේ වාරය අවසානයේ පැමිණෙන බව ඔබ විශ්වාස කරන්නේය.
ඒ වෙනුවට දෙවියන්වහන්සේ දෙස බලා සිටීම වාහන තදබදයක බලා සිටීම වැනි හැඟීමක් ඇති කිරීමට පුළුවන. ඔබ වාහන තදබදයක සිරවී සිටින විට ඔබට හැකි වන්නේ විනාඩියෙන් විනාඩිය ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යාමට පමණය. ඔබට ඉදිරියේ ඇත්තේ කුමක්දැයි හෝ තදබදය අවසන් වන්නේ කොයි වේලේදැයි ඔබට නොපෙනේ. එයින් නොඉසිලිවන්තකම සහ ඉච්ඡාභංගත්වය හට ගැනීමට පුළුවන.

පසුගිය වසරේ හය මාසයක් පමණ රැකියාවක් නොමැතිව අරගලයක යෙදී සිටියදී මම එය පුද්ගලිකවම අත්දුටුවෙමි. මම ගිවිසුම් පදනම මත මහජන සම්බන්ධතා/අලෙවිකරණ රැකියාවක් කළෙමි. ඒවායේ ගිවිසුම් කාලයද අවසන් විය.

කාලය ගෙවී යත්ම මා මුහුණ පෑ තත්ත්වයන් හේතුකොට ගෙන, මෙම වියවුල්කාරි පරිච්චේදයේ දී පවා මගේ සම්පූර්ණ කථාන්තරයේම කතෘවරයාණන් පිළිබඳ දැක්ම නැතිවී මම තව තවත් ඉච්ඡාභංගත්වයට පත්වූයෙමි. කෙසේ හෝ මෙම කාලය අතරතුර ලූක් 8වන පරිච්ඡේදයේ සඳහන් කථාන්තරයක් තුළින් මට සහතිකයක් සහ අපේක්ෂාවක් ලැබුණි. එම කථාන්තරයට අනුව යේසුස්වහන්සේගේ ගෝලයින් කුණාටුවකට හසුවී යේසුස්වහන්සේ කවුරුන්ද යන දැක්ම නැති කර ගෙන සිටියෝය.
ලූක් සඳහන් කරන පරිදි, කුණාටුව පැමිණෙන අවස්ථාවේ යේසුස්වහන්සේ ඔරුවේ නිදා සිටි සේක ( ලූක් 8: 22-23 ). ඔරුව මතින් දැඩි රැළ පහරක් ගසන බව දුටු ගෝලයින් බියට පත්වූහ. ඔවුහු උන්වහන්සේ නිදා හුන් තැනට ගොස් “ආචාරිනී, ආචාරිනී, අපි විනාශවෙනවා” යයි කීවෝය ( ලූක් 8:24 ). මතුවූ තත්වය පිළිබඳව ඔවුන් වික්ෂිප්තවූහ. ඔවුන්ට කෙසේ හැඟුණේ දැයි මට සිතාගත හැකිය.

මගේ විරැකියාව දිගින් දිගට ඇදී යද්දී මගේ බැංකු ගිණුමේ තැන්පත් කිරීමට මා සතුව මුදල් නොතිබුණි. මන්ද තැන්පත් කරන පිණිස මම මුදල් ඉපයුවේ නැති හෙයිනි. මේ ගැන මම දින ගණනාවක් හැඬුවෙමි. දෙවියන්වහන්සේ සැබවින්ම මගේ තත්ත්වය දුටුවේදැයි කල්පනා කළෙමි. ඇතැම් සතිවල මම කොපමණ ශෝකයට, ඉච්ඡාභංගත්වයට හා මලානිකව සිටියේද යත් යහනින් බැසීමට පවා මට ඕනෑකමක් නොතිබුණි. මම දෙවියන්වහන්සේට මෙසේ කන්නලව් කළෙමි. ස්වාමිනි ඔබවහන්සේ අපගේ අවශ්‍යතා සම්පූර්ණ කරන සේක් නම්, මේ අවස්ථාවේ මට රැකියාවක් සපයන්නේ නැත්තේ මන්ද ? මට රැකියාවක් අවශ්‍ය බව ඔබට නොපෙනේද ?”
මගේ තත්ත්වය තවත් දුෂ්කර කරමින් මා පදිංචිව සිටි බාබඩෝස්හි නව රජය, මම විරැකියාවෙන් පෙළෙමින් සිටි අවධියේ වියදම අවම කිරීමේ වැඩසටහනකට අනුව සේවකයින් සේවයෙන් ඉවත් කිරීමක් ආරම්භ කළේය. එම ප්‍රදේශය ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටි අතර බොහෝ දෙනා රැකියාවලින් ඉවත් කරනු ලැබූ අතර මෙම හේතුව මට රැකියාවක් සොයා ගැනීමට තිබූ බලාපොරොත්තුව තව දුරටත් සුන් කළේය.

ගෝලයන් මෙන්, මම මුහුණ පා සිටි කලකිරුනු තත්ත්වයේ ප්‍රතිඵලය පිළිබඳව මමද බියට පත් වුණෙමි. දෙවියන්වහන්සේ ක්‍රියා නොකරන බව පෙනී යද්දී, මගේ තත්ත්වය පිළිබඳ උන්වහන්සේ නොසලකන බව හා උන්වහන්සේට මා අමතකව ගොස් ඇති බව මට හැඟී ගියේය.

මගේ කලකිරීම මධ්‍යයේ බලාපොරොත්තු රහිත කුණාටුවක් වැනි වූ දෙයින් දෙවියන්වහන්සේ මා ගළවා ගනු ඇද්දැයි මට සැකයක් මතුවීමට පටන් ගත්තේය. නමුත් එවිට ගෝලයින්ගේ බියට සහ සැකයට යේසුස්වහන්සේ දැක්වූ ප්‍රතිචාරය ගැන සිතන්නට මම පෙළඹුනෙමි. “නුඹලාගේ ඇදහිල්ල කොහිදැ”යි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක ( ලූක් 8:25 ).

මම එම ප්‍රශ්නයම මගෙන් විමසුවෙමි. මගේ ඇදහිල්ල අඩු වූයේ මම කුණාටුව සංසිඳුවන්නා දෙස නොව කුණාටුව දෙස බැලූ බැවින් බව මම වටහා ගත්තෙමි.

කුණාටුව දෙස හා මා හට සිදුවන්නේ (හෝ සිදු නොවන්නේ) කුමක්ද යන්න දෙස බැලූ අවස්ථාවේ, එම සිද්ධියට පිටුපසින් දෙවියන්වහන්සේ ක්‍රියා කරන ආකාරය පිළිබඳ සිතා බැලීමට මට අමතක විය. උන්වහන්සේ සියලු දේම යහපත පිණිස එකට ක්‍රියා කරන බව පිළිබඳව මම නුදුටුවෙමි ( රෝම 8:28 ). මෙම වටහා ගැනීම සහ මගේ දැක්ම දෙවියන්වහන්සේ කෙරෙහි ඉලක්ක කර ගැනීමට උත්සාහ කරන පිණිස යාච්ඤාවේ සහ නිරාහාරව සිටීමේ දවස් නියම කර ගැනීමට පෙළඹවීමක් මට ඇති කළේය.
මා උන්වහන්සේ සෙවූ කල දෙවියන්වහන්සේ මාගේ සැපයුම් කරුවාණන් බව නොකඩවා ප්‍රකාශ කිරීමට ශුද්ධාත්මයාණන් වහන්සේ මා ධෛර්යමත් කළ සේක. මා වැඩි වශයෙන් ශුද්ධ ලියවිලි පාඨ මෙනෙහි කරනවිට, මතෙව් 6: 25-27 ; පිලිප්පි 4: 6 හා ගීතාවලිය 37:25 වැනි විශේෂ පද මා ධෛර්යවත් කරන පිණිස ශුද්ධාත්මයාණන් වහන්සේ මගේ සිතට ගෙන ආ සේක.

මෙම බයිබල් පද මගේ දෘෂ්ටිකෝණය ඔසවන්නට උපකාර කළ අතර මට ස්පර්ශනීය වශයෙන් මුදල් හිඟ වුවත් ස්වාමින්වහන්සේ තවමත් මගේ පවුලේ අය තුළින් සපයන බවත්, සමීප මිතුරන් තුළින් මා ධෛර්යමත් කරන බවත්, මට ජීවත්වීමට ආරක්ෂිත ස්ථානයක් දෙමින් ස්වාමින්වහන්සේ මට සපයන බව දකින්නටත් උන්වහන්සේ මගේ දෑස් විවර කළ සේක. මම යළිත් මගේ තත්ත්වය ඇගයුම් කළ අවස්ථාවේ මම මගේ අවුල් සහගත බව සහ ඇදහිල්ල මදකම ගැන පසුතැවිලිවී මගේ තත්ත්වය වඩාත් ධනාත්මක ආකාරයෙන් දකින පිණිස, මගේ සිත අලුත්කරන මෙන් ඉල්ලා යාච්ඤා කළෙමි. මෙම බයිබල් පද කාඩ් පත්වල ලියා, දවස පුරා මා අසල තබා ගනිමින් මා ගැන යාච්ඤා කිරීමට ද තීරණය කළෙමි. මේවා මගේ අවධානය යේසුස්වහන්සේ වෙත තබා ගැනීමට සහ උන්වහන්සේගේ දරුවන් හට සැපයීමට වූ පොරොන්දු කෙරෙහි මගේ අවධානය තබා ගැනීමටත් උපකාර විය.

අවසානයේ දෙවියන්වහන්සේ උන්වහන්සේගේ නියම කාලයේදී මට සැපයූ සේක. ඇබෑර්තු තිබේදැයි කලින් මා විමසා තිබූ කාර්යාලයකින් මා හට රැකියාවක් ලැබුණි. බොහෝ සේ යාච්ඤා කිරීමෙන් අනතුරුව මම රැකියාව සතුටින් භාර ගත්තෙමි.

අතීතය දෙස හැරී බලද්දී, අපි අපේක්ෂා කරන අන්දමට අපගේ ජීවිතය තුළ කරුණු සිදු නොවන කල සාංකාව, බිය සහ සැකය අපගේ සිත් සහ හදවත් තුළට ඇතුල් වන්නේය. එම පරික්ෂාවන්ට යටත්වනු වෙනුවට දෙවියන්වහන්සේ උන්වහන්සේගේ අරමුණ සැම විටම අපගේ ජීවිත තුළ ක්‍රියා කරමින් සිටින බව අප මතක තබාගත යුතුය. මට වටහා ගැනීමට නොහැකි දුෂ්කර, බලාපොරොත්තු සුන්වූ අවස්ථාවල පවා උන්වහන්සේ දෙස බලා සිටීමට කැමති ඉවසිලිවන්ත හදවතක් ඇතිව සිටින්නේ කෙසේදැයි මෙම අත්දැකීම තුළින් දෙවියන්වහන්සේ මට ඉගැන්වූ සේක ( ගීතාවලිය 27:14 ).

ලූක් ශුභාරංචියේ සඳහන් කථාන්තරයෙන් මට පැහිදිලි වූයේ, යේසුස්වහන්සේ ගෝලයින්ගේ ඇදහිල්ල විමසු නමුත් උන්වහන්සේ කුණාටුව සන්සිඳවූ බවය ( ලූක් 8: 24 ). යේසුස්වහන්සේ ගෝලයන්ගේ ඇදහිල්ල මදව තිබියදීත් ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන ඔවුන් විශ්මයට පත්වූ පරිදිම, මගේ ජීවිතයේ මේ කාලයේ දෙවියන්වහන්සේගේ බලය සහ සැපයීම ගැන මමද මවිතයට පත්වුනෙමි. මෙම අත්දැකීම දෙවියන්වහන්සේ සමග දැක්ම තුළින් නොව ඇදහිල්ල තුළින් ගමන් කිරීමට මතක තබා ගැනීමට මට උපකාර වන්නේය. දෙවියන්වහන්සේ අපගේ අවශ්‍යතා දන්නාසේක. අපගේ ජීවිතවල සෑම පැතිකඩකදීම උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබාගැනීමට අපට පුළුවන.