අයිවෝ පූබාලන් විසිනි

2019 දෙසැම්බර් 30 වන දින වෛද්‍ය ලි වෙන්ග්ලියැං විසින් විශ්වවිද්‍යාලයක ආදී සිසුන්ගේ සමාජ මාධ්‍ය අඩවියකට පණිවුඩයක් යොමු කරන ලදි. චීනයේ වූහාන් ප්‍රදේශයේ මාළු වෙළඳ පොළකින් සොයා ගත් හත්දෙනෙකු අලුත් කොරෝනා වෛරසයේ ආසාදිතයන් විය හැකි බවට ඔහු අනතුරු ඇඟවීය. එම වෛරසයේ වර්ගීකරණය ගැන තවමත් නොදන්නා බවද ඔහු කීවේය. සියලු දෙනා ප්‍රවේසම් විය යුතු බවත් එය වැළැක්වීමට පියවර ගත යුතු බවත් ඔහු පැවසීය. අධිකාරීන් ඔහු සමග උරණ වූහ. ඔහු ඕපාදුප පතුරන්නෙකු බවත් සෙනග අතර අනවශ්‍ය බියක් පතුරුවන බවත් චෝදනා කළෝය. 2020 පෙබරවාරි මස 7 වන දින තිස්හතර හැවිරිදි මෙම වෛද්‍යවරයා මියගියේය. දැනට ගෝලීය වසංගතයක් බවට පෙරළී ඇති වසංගතයෙන් සමහරෙක් හෝ බේරා ගැනීමට උත්සාහ කිරීම නිසා රෝගයෙන් මියගිය සෞඛ්‍ය සේවකයන් අතරට ඔහුද එකතු විය.

අප කිසිකෙනෙකු නරක ආරංචිවලට කැමති නැත. එය අප අසහනයට පත්කරන්නේය. අපගේ සැලසුම් වියවුල් කර අන්ධකාර හැඟීමක් අපට අත්කරන්නේය. එහෙත් යමක් ගැන ඇති දූෂ්‍යමාන ආරංචි සත්‍යනම්? නොදන්නාකම භයංකාරය. අපට ඇති තර්ජන අප හඳුනා නොගනී නම් අපට අප ආරක්‍ෂා කරගැනීමට නොහැකි වේ. සත්‍යයට අවධානය යොමුකිරීම අත්‍යාවශ්‍ය වේ.

ස්පර්ශ කළ නොහැකි, නොපෙනෙන මෙම කොරෝනා වෛරසය ආක්‍රමණික ක්‍ෂුද්‍ර ජීවියෙකි. මුලින් එය කිසිවක් නොකර ආසාදිතයාගේ ශ්වසන පද්ධතියේ එල්ලී සිටී. එය තමාම දහස් ගණනින් වැඩිකර ගනී. අලුත් අය ආසාදනයට පත්කරයි. වැඩිකල් නොයා රෝග ලක්‍ෂණ මතුවේ. රෝගියාගේ සුවය සහ ජීවිතයද තර්ජනයට ලක් වේ. එහි බලපෑම් ආසාදිතයාට පමණක් සීමා නොවේ. එහි අතුරු බලපෑම් තිබේ. සමූහනයකට පැතිරේ. පාසැල්, වැඩබිම් සහ ගුවන්තොටුපළවල් වැසේ. සමාජ දුරස්ථභාවය සහ නිරෝධායනය ඇතිවේ. එසේම සෞඛ්‍ය සහ සැපයීම් ජාලාවලට එය දරා ගැනීමට නොහැකිවේ. නගර සහ රටවල් ඇඳිරිනීතියට යටත් වේ. සමාගම් සහ ජාතික ආර්ථිකයන් බංකොළොත් වේ. මෙබඳු රෝග පැතිරීමක් මර්දනය කළ නොහැකි වුවහොත් ප්‍රතිඵල ඛේදනීය වනු ඇති බව දැන් අපට වැටහේ. අපට දැනෙන ලෙස ජනසංහතියේ පැවැත්මට එය විශාල තර්ජනයක් වන්නේය.

2019 අලුත් කොරෝනා වෛරසය බයිබලයෙහි “පාපය” උද්දීපනය කරයි. අපගේ මුල් පියවරුන් වන පළමු මනුෂ්‍යයින් හට දෙවියන්වහන්සේ කීවේ පාපය සකල මිනිස් වර්ගයාට ඛේදනීය ප්‍රතිඵල ගෙනදෙන බවයි. එනම් තහනම් ගසකින් කෑම, දෙවියන්වහන්සේට විරුද්ධව කරන කැරලි ගැසීම සහ පාපකාරී අකීකරුකම වන්නේය. දෙවියන්වහන්සේ කියා සිටියේ :

එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහිය” යනුවෙනි (උත්පත්ති 2:17).

එසේවූවත් ඔව්හු එය කළෝය. ඉන්පසු නොපෙනෙන ඇල්ලිය නොහැකි වෛරසයක් ලෙස පාපය මනුෂ්‍ය වර්ගයාට බලපෑවේය. ක්‍ෂණිකව සියල්ලන් දෙවියන්වහන්සේගෙන් ඈත්කර මරණය ගෙන ආවේය. තවද අලුත් කොරෝනා වෛරසය මෙන් එහි ප්‍රතිඵල පුද්ගලයාගේ සෞඛ්‍යයට පමණක් සීමා නොවීය. ආසාදනය නිවසෙහි විශ්වාසයට බලපෑවේය. සමූහනයන්ගේ සාමය බින්දේය. නොනවතින ජාත්‍යන්තර ගැටුම් ගෙනාවේය. ස්වාභාවික පරිසරයට හානි කළේය. කෙටියෙන් පවසන්නේ නම් දෙවියන්වහන්සේගේ යහපත් මැවිල්ල තුළින් බලාපොරොත්තු වූ සමගිය විනාශ කර දැමුවේය. ඒ සැමට වඩා අපගේ මැවුම්කරුවාණන්ට සවන් දීමට සහ ප්‍රතිචාර දැක්වීමට අපට තිබූ හැකියාව පළුදු කළේය. දෙවි පියාණන් ගැන අප තුළ ඇති දැක්ම විකෘති විය. ආත්මාර්ථකාමීව පාපය තෝරා ගත් නිසා එය අප උන්වහන්සේගේ සැලකිල්ලෙන් සහ ප්‍රේමණීය සමීපතාවයෙන් සදහටම වෙන්කර තැබීමට තර්ජනයක් වූයේය.

“බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත. නුමුත් නුඹලාගේ අපරාධම නුඹලා සහ දෙවියන්වහන්සේ අතරේ වෙන්වීමක් කෙළේය, උන්වහන්සේ නොඅසන ලෙස නුඹලාගේ පාපද උන්වහන්සේගේ මුහුණ නුඹලාගෙන් සැඟෙවුවේය.” (යෙසායා 59:1-2).

කෝවිඩ් 19 රෝගය සමහර විශේෂඥයින් සහ රාජ්‍ය නිලධාරීන් ගණන් නොගෙන සිටියද අතිමහත් බහුතරය එහි භයංකාරත්වය සහ ලී වෙන්ග්ලියැංගේ අවවාදය සත්‍ය බවත් පදනම් සහිත බවත් පිළිගත්තේය. වසංගතයට තිබෙන වඩාත් කාර්යක්‍ෂම විසඳුමත් අනාගතයේ ඇතිවන බෝවීම වැළැක්වීමට ගත හැකි ශ්‍රේෂ්ඨතම ආරක්‍ෂාවත් නම් වෛරසයේ බලය අකර්මණ්‍ය කළ හැකි ඖෂධයක් සොයා ගැනීම බවත් ඔව්හු වටහා ගත්තෝය.

බයිබලය දෙවියන්වහන්සේගේ එළිදරව්වය. එහි අරමුණ, පාපයේ නපුරු බලපෑම වාර්තා කිරීම පමණක් නොවේ. (එසේම එය අපගේ යහපැවැත්මට තර්ජනයක් වීම විස්තර කිරීමද නොවේ). එහි මූලික පරමාර්ථය අපගේ මිනිස් ව්‍යසනයට දෙවියන්වහන්සේ විසඳුමක් දී ඇත යන යහපත් ආරංචිය සැපයීමය. උන්වහන්සේ වෙත හැරෙන සෑමදෙනාටම පාපයේ ආසාදනයෙන් සුවය ලබා පවිත්‍රවීමේ සහතිකයක් ලබා ගැනීමේ මාර්ගයද පූර්ණ අර්ථවත් ජීවිතයක් ගත කිරීමට හැකියාවද උන්වහන්සේ දී තිබේ.

මෙම ප්‍රතිකර්මයට බයිබලය “ගැළවීම” යැයි පවසන්නේය. එසේම පව්කාර මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් දෙවියන්වහන්සේගේ ගැළවීමේ සැලැස්මට උන්වහන්සේට විශාල මිලයක් ගෙවීමට සිදුවිය. මක්නිසාදයත් ඒ මිලය උන්වහන්සේගේ එකම පුත්‍රයාගේ ජීවිතය වූ හෙයිනි.

“මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය” (යොහන් 3:16).

ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාය. උන්වහන්සේ අපගෙන් කෙනෙකු මෙන් වූයේ පාපයේ ආසාදනයේ සම්පූර්ණ බලපෑම උන්වහන්සේ පිට දරා ගන්නා පිණිසය. උන්වහන්සේ අප වෙනුවෙන් මියයාමට හේතුව එය වේ. උන්වහන්සේ කුරුසියේ වේදනාව සහ ලජ්ජාවද දෙවිපියාණන්ගෙන් වෙන්වීම නමැති දැඩි තනිකමද අත්වින්ද සේක. යේසුස්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් වුවද අසමසම ලෙස පාප රහිත වූ සේක. ඒ හෙයින් පාපයේ බලය අකර්මණ්‍ය කර පාපයේ ප්‍රතිඵලය වන ස්වාභාවික ලෝකය සමගද එකිනෙකා සහ දෙවියන්වහන්සේ සමගද තිබෙන අසමගිය විනාශ කිරීමට උන්වහන්සේට හැකි විය. දෙවියන්වහන්සේ තුන්වන දවසේ දී උන්වහන්සේ මරණින් නැගිටෙවු සේක. උන්වහන්සේ ගැළවුම්කරුවාණන් ලෙස දැන් ජීවත්වන සේක. පාපයේ ආසාදනයෙන් අප ගැළවිය හැක්කේ උන්වහන්සේට පමණී.

“අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.” (1 පේත්‍රෑස් 2:24).

වසර දෙදහක කාලය තුළ ලොව වටා මිණිය නොහැකි ජනතාවක් මෙම තේජවත් සත්‍යය සොයාගෙන තිබේ. ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පාපයෙන් අප සුවකර අප පියාණන් වන දෙවියන්වහන්සේ සමග ප්‍රීතියේ සහ සාමයේ සමීප සබඳතාවකට නැවත අප ගෙනවිත් තිබේ. මෙම විශ්මිත ගැළවීම අත්දැකීමට යතුර එනම් : දෙවියන්වහන්සේ සමග සදාකාලය අපගෙන් සොරාගැනීමට තර්ජනයක් වන පාපයට ප්‍රතිකර්මය නම් : යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීමය. “උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන කවුරු නමුත් විනාශ නොවී සදාකාල ජීවනය ලබන්නේය”. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි විශ්වාස කර දෙවියන්වහන්සේ සමග අධික ජීවනයක ප්‍රීතිය භුක්තිවිඳින ආකාරය ගැන වැඩිදුර ඉගෙනීමට ඔබ කැමති නොවන්නේද?

“නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම් උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක” (යොහන් 1:12).

කෝවිඩ් 19 ගැන වෛද්‍ය ලී වෙන් ලියැංගේ “බොරු ආරංචිය” අද සත්‍යයක් වී ඇත. ඒ හෙයින් ඔහු වීරයෙක් ලෙස පිළිගැනේ. පාපය නැමැති වසංගතය අනිවාර්යයෙන්ම විශ්වය පිළිගත් තවත් සත්‍යයකි. එහෙත් සමහරවිට ඔවුන් නොදැන සිටි දෙය වන්නේ එයට ප්‍රතිකර්මයක් දැන් ඇති බවයි. යේසුස් ක්‍රිස්තුස්වන අපගේ ගැළවුම්කරුවාණන්ගේ වචනයෙන් පවසන්නේ නම්:

“මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත” (යොහන් 14:6) යන්නය.

වැඩි විස්තර සඳහා: ivorger@gmail.com

ආචාර්ය අයිවෝ පූබාලන් කොළඹ දේව ධර්ම ශාස්ත්‍රාලයේ විදුහල්පති ලෙසින් සේවය කරන අතර, ලූසාන් සම්මේලනයේ දේව ධර්මය පිළිබද ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපතිත්වයද දරයි.