අනුග‍්‍රහයේ ත්‍යාගය: මම තවදුරටත් තනිවී නැත.

“එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය. – යෙසායා 7 : 14

මෑතකදී විවාහවූ අයෙකු සමඟ මම කථාකරමින් සිටියෙමි. පියෙකු වනතුරු ඔහුට ඉවසිල්ලක් නොතිබිණි. ඔහු සහ බිරිඳ ළදරුවෙකු වෙනුවෙන් යාච්ඤා කරති, සැලසුම් කරති, දැනටම නම් සොයාගෙන ඇත. නුමුත් ඔහුගේ භාර්යාව ගර්භණීවී වත් නොමැත.

ක‍්‍රි.පූ. 735දී යෙසායා අනාගතවක්තෘ ආත්මික අර්බුදයක සිටි යූදා දේශයට අනාවැකියක් දුන්නේය. “බලව, කන්‍යාව ගර්භිණීව පුත‍්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය” (එහි අර්ථය දෙවියන්වහන්සේ අප සමඟය යනුය) (යෙසායා 7:14). යේසුස්වහන්සේ ඉපදීමට වසර 730කට පෙර ක‍්‍රිස්තුස්වහන්සේට නම තැබිණි.

වචන තුනකින් නත්තලේ සියලු සත්‍යයන් කිව හැකි බව මම අසා ඇත්තෙමි. “දෙවියන්වහන්සේ අප සමඟය” නත්තල සේ ක‍්‍රිස්තුස්වහන්සේගේ මිනිස් උත්පත්තිය ගැන අපි අවධානය යොමු කිරීමට පුරුදුව සිටිමු. නුමුත් වැඩි අවධානය යොමුවිය යුත්තේ උන්වහන්සේගේ දේවත්වයටය. එනම් උන්වහන්සේ කව්ද යන්නටය. “දෙවියන්වහන්සේ අප සමඟය”.

එම්මානුවෙල් යනු සිංහාසනයක වාඩිවී සිටින දෙවි කෙනෙකුගෙන් අප දුරස්වී තනිව නොසිටින බවය. උන්වහන්සේ අප සමඟ සිටීමට පැමිණි සේක. උන්වහන්සේට මිනිස් චර්මයක් තිබිණි. උන්වහන්සේ මිනිස් ඇඳුම් පැළඳි සේක. යෝසෙප් හා මරියා තම පුත‍්‍රයාට නම කියා අඬගසන කල දෙවියන්වහන්සේ නිවසේ සිටින බවට එය සලකුණක් විය. වචනයට අනුව එකම වහලක් යට සිටින බවය.

ඔබ තනිව සිටිනවාද? භයෙන්ද? දෙවියන්වහන්සේ ඉතා දුර යැයි ඔබ සිතනවාද? දුර සිට ඔබ දෙස දුකෙන් බලා සිටිනවා යැයි ඔබ කල්පනා කරනවාද? නත්තල් පණිවුඩය නම් ඔබ තව දුරටත් තනිවී සිටීමට අවශ්‍ය නැති බවය. යේසුස්වහන්සේ පැමිණ සිටි. දෙවියන්වහන්සේ අප සමඟය. සිම් කේ. ටී.

එම්මානුවෙල්  – දෙවියන්වහන්සේ අප සමඟය යනුයි!


අද දින බයිබල් කියවීම: යෙසායා 7 : 10-14

10 ස්වාමීන්වහන්සේ තවදුරටත් ආහාස්ට කථාකොට: 11 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතින් ලකුණක් නුඹට ඉල්ලන්න; පහත ගැඹුරෙන් හෝ ඉහළ අහසින් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැයි කීසේක. 12 නුමුත් ආහාස්: මම නොඉල්ලමි, ස්වාමීන්වහන්සේ පරීක්ෂා නොකරමියි කීවේය. 13 එවිට ඔහු කථාකොට: එම්බා දාවිත්ගේ වංශය, ඉතින් අසන්න; නුඹලා මාගේ දෙවියන්වහන්සේ වෙහෙසන්නේ මනුෂ්‍යයන් වෙහෙසනවා මදිවාටද? 14 එබැවින් ස්වාමීන්වහන්සේම නුඹලාට ලකුණක් දෙනසේක; බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු වදා, එම්මානුවෙල් යන නම ඔහුට තබන්නීය.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.