අනුග‍්‍රහයේ ත්‍යාගය: පුද්ගලික සම්බන්ධතාවයක්

මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. යොහන් 3 : 16

සිංගප්පූරුවේ නත්තල් තෙත භරිතය. හිම නොවැටේ; නුමුත් වැසි වසී. කිතුනු නොවන පවුලක හැදී වැඩුණු නිසා අප නත්තල් සැමරුවේ නැත. නුමුත් කුඩා කාලයේදී මාත් මගේ සහෝදරයිනුත් අසල්වාසී දරුවන් සමඟ නත්තල් තෑගි හුවමාරු කරගැනීමට සිතුවෙමු. එම අදහස කොහෙන් පැමිණියාදැයි මම නොදනිමි. සමහරවිට අප නැරඹූ සියලු රූපවාහිනී වැඩසටහන් වලින් විය හැකිය. අපි අපගේ නම් ලියා බෑගයකට දැමුවෙමු. අප එකිනෙකා තවත් කෙනෙකුගේ නමක් ගන්නෙමු. එම නම ඇති පුද්ගලයාට තෑග්ගක් දීම පිණිසය. අපට ලැබුණු තෑගි වලින් අපෙන් සමහරෙක් ප‍්‍රීති වූහ. සමහරෙකු එසේ නැත. කෙසේ වෙතත් තෑගි ලැබුණු නිසා අපි සියලු දෙනාම සතුටු වීමු.

වසර 2000කට පෙර පරිපූර්ණ ත්‍යාගය අප මැවුම්කාර දෙවියන්වහන්සේ අපට දී ඇති බව අපි අවබෝධ කර නොගත්තෙමු. “දෙවියන්වහන්සේ ලොවට පේ‍්‍රම කළේ මෙසේය, උන්වහන්සේ තම එකම පුත‍්‍රයාව දුන් සේක (යොහන් 3:16). මාගේ යෞවන කාලයේදී මම එම ත්‍යාගය ගැන ඇසුවෙමි. යේසුස්වහන්සේ මාගේ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගත්තෙමි.

ක‍්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙකු ලෙස පළමු නත්තල සමරණවා මට මතකය. නත්තලෙහි අරුත මට වැටහිනි. එහෙයින් දැන් එය විශේෂිතය. එය දෙවියන්වහන්සේගේ පරිපූර්ණ තෑග්ග සැමරීමකි. එනම්; යේසුස් ක‍්‍රිස්තුස්වහන්සේය. දෙවියන්වහන්සේ ඉහළ ඇති අභිරහස් බලවේගයක් නොවන බව මම දැනගතිමි. උන්වහන්සේ පුද්ගලභාවයක් ඇති දෙවි කෙනෙකි. උන්වහන්සේ සියලු ජාතීන්ට සහ සියලු සාමාජීය හා ආර්ථික පංති වල ජනයාට පේ‍්‍රම කරන සේක. දෙවියන්වහන්සේ වන මේ පුද්ගලයාණන් මට ඇති පේ‍්‍රමය ප‍්‍රකාශ කළේ මා වෙනුවෙන් මිය යෑමෙනි.

මේ උත්සව කාලයේදීත් – සෑම දිනකත් – නත්තලේ ක‍්‍රිස්තුස්වහන්සේ වෙතට අපගේ ඇස් අපි යොමු කරගෙනම සිටිත්වා! පා ෆං චියා

පේ‍්‍රමකිරීම යනු දීම බව බෙත්ලෙහෙමේදී දෙවියන්වහන්සේ පෙන්වූ සේක.


අද දින බයිබල් කියවීම: යොහන් 3 : 16-21

16 මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. 17 මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය. 18 උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා විනිශ්චයකරනු නොලැබේ. අදහා නොගන්නා දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන්ගේ නාමය කෙරෙහි අදහා නොගෙන සිටින බැවින් දැනටම විනිශ්චය කරනු ලැබ සිටියි.19 විනිශ්චය නම් මේය-ලෝකයට ආලෝකය පැමිණ තිබෙන නුමුත්, මනුෂ්‍යයන්ගේ ක්‍රියා නපුරු බැවින් ඔවුන් ආලෝකයට වඩා අන්ධකාරයට ඇලුම්වූ බවය. 20 නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛරවී, තමුන්ගේ ක්‍රියා වැරදි බව ඔප්පු නොවන පිණිස ආලෝකයට නොඑති. 21 නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.‍

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.