අනුග‍්‍රහයේ ත්‍යාගය: සැමරීමට හේතු

ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය. – ලූක් 2 : 14

නත්තල සැමරීමට යුක්රේන් ජාතිකයන් මනහර අංග කිහිපයක් ඇතුල් කර තිබේ. සමහර විට ඔවුන් පිදුරු මිටක් රාත‍්‍රී ආහාර මේසය මත තබන්නේ බෙත්ලහෙම් ගවමඩුව සිහිවීමටය. ඔවුන්ගේ සැමරීමේ තවත් අංගයක් මෙලොවට ගැළවුම් කරුවාණන් වැඩිය රාත‍්‍රිය දෝංකාරයට පත්කරයි. පළමුවෙන් නත්තල් යාච්ඤාවක් කෙරේ. ඉන්පසු පියා සුභ පැතුමක් ප‍්‍රකාශ කරයි. “ක‍්‍රිස්තුස්වහන්සේ උපන් සේක” පවුලේ අය ප‍්‍රතිචාර දෙන්නේ “අපි උන්වහන්සේට මහිමය දෙමු” කියාය.

එම වචන ක‍්‍රිස්තුස්වහන්සේ උපන් රාත‍්‍රියෙහි අහසෙහි දිස්වූ දේවදූතයන් අපගේ සිහියට ගෙන එයි. ස්වාමීන්ගේ දූතයා ප‍්‍රකාශ කළේ “ගැළවුම්කරුවාණන් – මෙසියස්වහන්සේ, ස්වාමීන්වහන්සේ – දාවිත්ගේ නුවර වන බෙත්ලහෙමේ උපන්නේය” කියාය (ලූක් 2:11). ස්වර්ගීය සේනාව ප‍්‍රතිචාර දැක්වූයේ “ඉතා උසස් තැන්හී දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප‍්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවා” (ලූක් 2:14) යනුවෙනි.

එම ද්විත්ව පණිවුඩය, වසරේ මෙම මනහර කාලයට ඉතා ගැඹුරු අර්ථයක් දෙන්නේය. සමාව සහ බලාපොරොත්තුව රැගෙන ගැළවුම්කරුවාණන් අවුත් සිටි. අපට දිය හැකි සියලු නමස්කාරය ලැබීමට උන්වහන්සේ සුදුසු වේ.

“උසස් තැන්හි දෙවියන්වහන්සේට මහිමය වේවා”. –  බිල් ක‍්‍රව්ඩර්.

දෙවියන්වහන්සේගේ පේ‍්‍රමයේ විශ්මිත තේජස එළිදරව් වූයේ යේසුස්වහන්සේගේ පැමිණීමෙනි.


අද දින බයිබල් කියවීම: ලූක් 2 : 6-14

6 තවද ඔවුන් එහි සිටියදී ඇගේ බිහිකරන කාලය සම්පූර්ණවිය. 7 ඈ කුලුඳුල් පුත්‍රයා බිහිකර, රෙදිවලින් ඔතා, නවාතැන් ගෙයි ඔවුන්ට ඉඩ නොතිබුණු බැවින් ගවයන් කන ඔරුවක බෑවුවාය. 8 තවද එම රටෙහි එඬේරු රෑ යාමයෙන් යාමට තමුන්ගේ බැටළු රැළ ප්‍රවේසම්කරමින් පිට්ටනියෙහි සිටියෝය. 9 එවිට ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ඔවුන් ළඟ සිටියේය, ස්වාමීන්වහන්සේගේ තේජස ඔවුන් අවට බැබළුණේය. ඔව්හු අතිශයින් භයපත්වූහ.10 දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි. 11 මක්නිසද ස්වාමීවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක. 12 රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය. 13 එකෙණෙහිම ඒ දේවදූතයා සමඟ මහත් ස්වර්ගීය සේනා සමූහයක් දෙවියන්වහන්සේට ප්‍රශංසාකරමින්: 14 ඉතා උසස්තැන්හි දෙවියන්වහන්සේට මහිමයද පොළොවෙහි උන්වහන්සේට ප්‍රියවූ මනුෂ්‍යයන් අතරෙහි සමාදානයද වේවයි කීවෝය.

වැඩි විස්තර සඳහා අනුග‍්‍රහයේ ත්‍යාගය මුල් පිටුවට පිවිසෙන්න.