"This article was originally published on YMI. Republished with permission."

කර්තෘ: ඩැනියෙල් රයන් ඩේ, ඇමරිකා එක්සත් ජනපදය

මම පසුගිය මාස කිහිපයක් තිස්සේ එය එතරම් ගණන් ගත්තේ නැත. මම විහිළු කරමින් කොරෝනා වෛරස් මහා ව්‍යසනය හාස්‍යයට ලක් කළෙමි. නමුත් පසුව ඒ සියල්ල වෙනස් විය. තවද ජනාධිපතිවරයා විශේෂ කතාවක් කළේය. මගේ සමාගම සති කිහිපයක් වසා දැමීම ගැන කටකතා පැතිරෙන්නට පටන් ගත්තේය. වසර ගණනාවක සිට මා භාවිතා නොකළ ගුවන් සමාගමකින් මට විද්‍යුත් තැපෑලක් ලැබුණි. ඔවුන් ගුවන් ගමන් අවලංගු කර ඇති බව මට දන්වයි. ඉන්පසු ප්‍රධාන විශ්ව විද්‍යාල වසා දැමීය. සමහරක් අන්තර්ජාල පංතිවලට මාරුවීමට නිවේදනය කළේය. දැන් සංචාරක තහනමක් ඇති අතර මට ලෝකයේ බොහෝ රටවලට පියාසර කළ නොහැක.

ඊයේ රාත්‍රියේ, භීතිය තව තවත් ඉහළ ගියේ රජය විසින් සමහර ප‍්‍රදේශ වලට ඇඳිරි නීතිය දමන ලෙසට නියෝග කිරීමත් සමඟය. අද උදේ, මම අවදිවන විට මගේම රටේ ආසාදිතයින් 50 දෙනෙක් බව තහවුරු කර තිබුනි.

මේ සියලු අනතුරු ඇඟවීම් මට මහත් බරකි. මට හිසරදයක් දැනේ. එය මට ආතතියේ මුල් ලක්ෂණයකි. මගේ මනසට "කුමක් කළ යුතුද" යන්න සිතාගත නොහැක. දැන් මට 100% විශ්වාසයෙන් කියන්න පුළුවන්...

මම බය වෙලා, ඒ ඇයිද කියලවත් මම දන්නෙ නෑ

ඒ මගේ දරුවන් අසනීප විය හැකි නිසාද? නැත්නම් මට අසනීප විය හැකි නිසාද? නැත්නම් මගේ රැකියාව නැවැත්වීමට වන නිසාද? එසේත් නැතිනම් ජනවාරි මාසයේ සිට ලොව පුරා මිනිසුන් අත්විඳින එකම කනස්සල්ල, කාංසාව සහ බිය මට දැනෙන්නට පටන් ගෙන ඇති නිසාද? නැත්නම් ඒ සියල්ලම එකවර විය හැකිද?

මම සාපේක්ෂව තරුණ බව මම දනිමි, නමුත් මම මීට පෙර මෙවැනි දෙයක් දැක නැත. රටට රුපියල් මිලියන ගණනක පාඩුවක්. එදිනෙදා රැකියා කරන අයට රැකියා අහිමි වීම. රැස්වීම් හා උත්සව රජය විසින් තහනම් කර ඇත. ප්‍රධාන කර්මාන්ත ඇන හිට ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය "වසංගත තත්ත්වයක්" ප‍්‍රකාශ කර ඇත. මා දන්නා සෑම කෙනෙකුටම (මා ද ඇතුළුව) ඒ ගැන කතා කිරීම නතර කළ නොහැක! එය මා, ඔබ සහ අනෙක් සියල්ලන්ම ඉදිරිපිට 24/7 පුරාවට.

ඒ නිසා මම හිතන්නේ ඔබත් බිය වේවි. නැතහොත් ඔබ "සැලකිලිමත්" විය හැකිය.

ඉතින් දැන් අපි කුමක් කරමුද?

විනාඩියක් ගන්න. ගැඹුරින් හුස්මක් ගන්න. අපගේ බයිබලයේ අපිට හොඳින් හුරු වූ පිටුවකට පිවිසීමෙන් සැහැල්ලු වන්න.

ඔබ සැම කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද ඔබ සැමගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වන්න. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැමගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත. (පිලිප්පි 4:6-7)

අවංකවම කියනවා නම්, මම ප්‍රවෘත්ති නැරඹීමට හා කියවීමට ගත කළ කාලය තරම් කාලයක් යාච්ඤා කිරීමට ගත කර නැත. කොරෝනා වෛරසය ගැන දෙවියන්වහන්සේ සමඟ කතා කිරීමට වඩා මම පුවත් සිරස්තල පසුපස හඹා ගියෙමි. මම මිතුරන් සමඟ කතා කිරීමට, ඊමේල් කියවීමට සහ වීඩියෝ නැරඹීමට බොහෝ කාලයක් ගත කර ඇත්තෙමි. නමුත් හිසරදය වැඩි වන විට, මට වැඩිපුර යාච්ඤා කිරීමටත් අඩුවෙන් කතා කිරීමට හා පුවත් නැරඹීමටත් කාලය බව වැටහිනි.

හොඳයි, දැන් මෙය ක්‍රියාවට නැංවීමේ උත්සාහයකට ඔබ මා හා එක්වනවාද? එය ආරම්භ කිරීම සඳහා අපට ගත හැකි පියවර කිහිපයක් මෙන්න...

පියවර 1 - කොරෝනා වෛරසය ගැන දෙවිඳුන්ට යාච්ඤා කරමින් කන්නලව් කරන්න.

අපට බියක් දැනෙන බවත්, ඒ මන්ද කියා අප නොදන්නා බවත් උන්වහන්සේට පවසන්න. සිදුවිය හැකි යැයි අප සිතන සියලු නරක දේ අපට ලැයිස්තු ගත කළ හැකි අතර, අපට මෙතරම් නොසන්සුන් බවක් දැනෙන්නේ මන්දැයි විමසා බැලීමට අපගේ හදවත් පරීක්ෂාකර බලන මෙන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. භාන්ඩ තොග රැස් කිරීමට හා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේ බෙදා ගැනීමට වඩා කාලයක් යාච්ඤාව තුළින් උන්වහන්සේ වෙත ලඟා වීමට යොදවමු.

පියවර 2 - ස්තූති දෙන්න

පිලිප්පි පොත අපගේ කරදර ගැන දෙවියන්වහන්සේ සමඟ කතා කිරීමට පමණක් නොව, ස්තුති දීම සමඟ අපගේ කරදර ගැන දෙවියන්වහන්සේ සමඟ කථා කිරීමටද කියති. අපට අපගේ දවස, සතිය, මාසය, වර්ෂය හෝ ජීවිත කාලය දෙස ආපසු හැරී බැලිය හැකි අතර, මේ මොහොත දක්වා දෙවියන්වහන්සේ විසින් කර ඇති සියල්ල ගැන උන්වහන්සේට ප්‍රශංසා කළ හැකිය. දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය සෑම කාලයටම අදාල බව මෙනෙහි කිරීම, ස්තුති කිරීමට අපට බල කරයි. එය අනාගතය ගැන සිතන විට අපට විශ්වාසයක් ලබා දෙයි.

පියවර 3 - ගීතාවලිය පොත කියවන්න

27 වන ගීතිකාව ආරම්භ කිරීමට හොඳ ස්ථානයකි. ගීතිකාකරු තම පාලනයෙන් තොර දේවල් සමඟ කොපමණ වාරයක් ගනුදෙනු කරන්නේදැයි සොයා බලන්න. අනතුරු ඇඟවීම් බොහෝ තිබේ. ගීතිකාකරු දෙවියන්වහන්සේට, ඔහුට උපකාර කිරීම ගැන කොපමණ වතාවක් ප්‍රශංසා කරනවාදැයි අවධානය යොමු කරන්න.

පියවර 4 - අන් අයට සේවය කිරීමට හැකි ක්‍රම සොයන්න.

යේසුස්වහන්සේ ලාදුරු රෝගියෙකුට අත තැබූ ආකාරය මතකද? ඉතිහාසය පුරාම ක්‍රිස්තුස්වහන්සේගේ අනුගාමිකයන් බොහෝ විට අවශ්‍යතා ඇති අයට එකම ආකාරයේ ප්‍රේමයක් හා සැලකිල්ලක් පෙන්නුම් කර ඇති අතර, කොරෝනා වෛරසය අපටද එම පේ‍්‍රමය අන් අයට පෙන්වීමට තවත් අවස්ථාවක්ය.

සමහරවිට ඔබේ මිතුරෙකුව දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට දිරිමත් කිරීමෙන් ආරම්භ කළ හැකිය. අවදානමක් ඇති අයෙකු හෝ අධි අවදානම් සහිත ප්‍රදේශයක සිටින අයෙකු ඔබ දන්නේ නම්, ඔවුන්ගේ සුව දුක් විමසන්න (දුරකථනයෙන්). වැඩිපුර අවදානමට ලක්විය හැකි අයෙකු ඔබ දන්නේ නම්, වියලි ආහාර මල්ලක් යැවීමෙන් ඔබට ඔවුන්ට සැලකිල්ල දැකිවිය හැක. ආරක්ෂා කිරීමට උදව් කළ හැකි ක්‍රම ගැන සිතන්න. එවිට ඔවුන්ට නිවසින් පිටව යා යුතු නැත (ඔබට මුලින්ම වෛරසය නොමැති බවට වග බලා ගන්න). වැදගත්ම දෙය නම්, දෙවියන්වහන්සේ ඔබෙන් කුමක් කරන්න කැමතිදැයි විමසන්න. ඉන්පසු උන්වහන්සේ මඟ පෙන්වන ආකාරයට ක‍්‍රියා කරන්න.

පියවර 5 - දුවන්න

හොඳයි, මෙය මෙම ලැයිස්තුවට මගේ පෞද්ගලික එකතු කිරීමකි - එය බයිබලයෙන් ලියා ඇති බවක් ඔබට නොපෙනේ. නමුත් එය මට උපකාර වූ ක‍්‍රමයකි. ඔබ දුවන්නට අකමැති විය හැක. නමුත් මම එසේ කරමි. මම ආතතියට පත් වූ විට, ධාවනය යනු මගේ හිස නිදහස් කිරීමට හොඳම ක්‍රමයයි. සමහර විට ඔබට නිවස වටා ඇවිදින්න යන්න පුළුවන් (මේ දිනවල නිවසෙන් පිටතට නොයන්න). මොහොතකට ඔබේ මනස නිරවුල් කර ගැනීමට යමක් කරන්න. එය වෙනත් දෙයකට අවධානය යොමු කිරීමට ඉඩ සලසයි.

මෙම පියවර පහෙන් කොරෝනා වෛරසයේ ගැටළුව නොවිසදෙන අතර ඒවා මගේ හෝ ඔබේ කනස්සල්ලට ඖෂධයක් නොවේ. කාංසාව නැවත පැමිණෙනු ඇත. නමුත් එසේ සිදු වූ විට, අපට නැවත එම පියවර හරහා යා හැකිය. පිලිප්පි පොතේ පොරොන්දු වන පරිදි, අප අපගේ කනස්සල්ල උන්වහන්සේ වෙතට ගෙන එන විට, කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ අප සැමගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.

මීට වසර කිහිපයකට පෙර, මම රැකියාවන් මාරුවෙමින් සිටි අතර මුළුමනින්ම සිරවී සිටියෙමි. මම මුහුදු වෙරළේ සිටිමින් රළ දෙස බලා යාච්ඤා කරමින් සිටියෙමි. මාව එක තැනක සිට තවත් තැනකට ගෙන යාමට තරම් රළ විශාල බව මට වැටහුනු අතර හදිසියේම රචනා කරන ලද ගීතයක වචන මගේ මනස හරහා පාවෙන්නට පටන් ගත්තේය. අද මෙම ගීතය නැවත ගායනා කිරීමට හොඳ දවසක් සේ පෙනේ (ඔබත් මා හා සමග ගායනා කිරීමට කැමති නම් ඔබේම තනුවක් සකසා ගයන්න)

දෙවිදුන්ගේ සාමයේ රැළි
මා මත ​​පෙරළේවා,
මා සිටි තැන සිට මා සිටිය යුතු තැනට
මා ගෙන යාවා

කරදරකාරී ස්ථානයක සිට විශ්වාසය තැබිය හැකි ස්ථානයකට අපව ගෙන යාමට තරම් දෙවියන්වහන්සේගේ සාමය බලවත්ය. අප තවත් භීතිය අත්විඳින්නේ නැත යන්න ඉන් අදහස් නොකෙරේ. නමුත් අපගේ බිය අවසානයේදී එහි නියම ස්ථානයට එනු ඇත - එය අපට ආදරය කරන අපගේ දෙවියන්වහන්සේට අපව සමීප කරයි.