කර්තෘ: ජූලියා ලී, සිංගප්පූරුව

වෛද්‍ය සමාජ සේවිකාවක වන මම ශාරීරික දුබලතා හෝ මානසික  දුබලතා හෝ මේ දෙකම ඇති වූ පුද්ගලයින්ට සහාය ලබා දෙමි. මගේ සේවා කාලය තුළ ඔවුන්ගේ අසනීප තත්ත්වයන් හේතුවෙන් දුෂ්කර තත්ත්වයන්ට මුහුණ දෙන බොහෝ රෝගීන් සහ පවුලේ සාමාජිකයන් හමුවේ. මෙන්න එවැනි උදාහරණ කිහිපයක්:

වසර ගණනාවක් ප්‍රතිකාර කළ පසුත් නිවැරදි කළ නොහැකි ස්නායු හානියක් හේතුවෙන් වැඩක් පලක් කළ නොහැකි තරුණයෙක්. ඔහු බොහෝ දුරට ගෙදරට වී සිටින හෙයින් ඔහුගේ ජීවිතයේ මූලිකම දේ වී ඇත්තේ, දිනපතාම පාහේ වේදනා විඳිමින් සිටීමයි. මේ අතර ඔහුගේ පවුලේ අය ඔහුගේ අධික වෛද්‍ය බිල්පත් වලින්වූ ණය ගෙවීම, ඔහුගේ ශාරීරික හා මානසික අවශ්‍යතා සපුරාලීම සහ මානසික අවපීඩනය පාලනය කිරීම සඳහා අරගල කරති.

මානසික ආබාධයකින් පෙළෙන මැදිවියේ කාන්තාවක්, ඇය තම දරුවන් වෙත නින්දා අපහාස එල්ල කරයි. නිවසේදී අනපේක්ෂිත මනෝභාවයක් පෙන්නුම් කරයි. තම ස්වාමිපුරුෂයා හිංසාකාරී පිරිමියෙකු ලෙස සලකයි. මූලික ප්‍රතිකාර සඳහා ඇය හොඳ ප්‍රතිචාරයක් දැක්වූ නමුත් මානසික රෝගියෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සමඟ පොරබදයි. අවශ්‍ය ඖෂධ ගැනීම ඇය ප්‍රතික්ෂේප කිරීම ඇය සහ ඇගේ පවුලේ අය අතර දිනපතා ආතතියට හේතු වේ.

ප්‍රතිකාර වලට ප්‍රතිචාර නොදක්වන භින්නෝන්මාදයෙන් පෙළෙන මිනිසෙකුට රෝගී තත්ත්වය වර්ධනය වන විට ඔහුගේ හැඟීම් දැනීමේ හැකියාවන් අඩුවෙමින් පවතී. ඔහුගේ පවුලේ අයට නිවසේදී ඔහුව රැකබලා ගැනීමට නොහැකි බැවින් ඔහු තම ජීවිතයේ වැඩි කාලයක් සුරැකුම් ආයතනයක ජීවත් විය. වසර ගණනාවක් පුරා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහු බැලීමට පැමිණීම නවතා දමා ඇති අතර දැන් එය වෙනස් කළ නොහැක. කෙසේ වෙතත් ඔහු සුරැකුම් ආයතනයේ  සතුටු සිතින් ජීවත් වේ.

තම රෝද පුටුවටම බැඳී සිටින වයෝවෘද්ධ කාන්තාවක් කිහිපවරක් අදවැටිම නිසා ඇටකටු කිහිපයක් කැඩී යාමෙන් පසු නිවසින් පිටව යාමට බිය වේ. ඇය ගෘහ සේවිකාව සමඟ තනිව ජීවත් වේ. ඇයට දරුවන්, මුණුබුරු මිනිබිරියන් සහ මී මුණුබුරු මිනිබිරියන් සිටියත් ඔවුන් ඇගේ ජීවිතයට සම්බන්ධ වන්නේ කලාතුරකිනි. ඇය ඇගේ තනිකම සමඟ සාර්ථකව කටයුතු කරන්නේ මිතුරන් හා ස්වේච්ඡා සේවකයන් සමඟ දුරකථනයෙන් කතාබස් කිරීමෙන් සහ කාලය ගත කිරීම සඳහා රූපවාහිනිය නැරඹීමෙනි.

මෙම සැබෑ ජීවිත කථාන්දර, බයිබලයේ සඳහන් මිනිසුන් ඒ කාලයේදී කායික හෝ මානසික රෝගවලට ප්‍රතිචාර දැක්වූයේ කෙසේද යන්න ගැන මට කල්පනා කිරීමට මගපෑදීය. ඉමහත් දුක් ගැහැටවලට මුහුණ දුන් එක් චරිතයක් වන්නේ යෝබ් ය. ඔහුට වේදනාකාරී තුවාල ඇති විය. ඔහු විපතෙන් කෑගැසූ විට, ඔහුගේ මිතුරන්ගෙන් ඔහුට දුර්වල උපදෙස් ලැබුනි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, යෝබ් තම අවාසනාවන්ත තත්ත්වයට දෙවියන්වහන්සේට දොස් පැවරීමට ආසන්න විය. කෙසේවෙතත්ල අවසානයේදී ජීවිතයේ සෑම දෙයක්ම තමාට ලබා දුන්නේ දෙවියන්වහන්සේ බව ඔහු තේරුම්ගන්නා ලදී. ඔහු දිගටම දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් නමස්කාර කළ අතර අවසානයේදී දෙවියන්වහන්සේ ඔහුට කලින් තිබූ දේට වඩා දරුවන්ගෙන් හා දේපළවලින් ආශීර්වාද කළ සේක.

අළුත් ගිවිසුමේ, සමාජය විසින් සුළු කොට සැලකීම්වලට මුහුණ දුන් අන්ධ, කොර සහ ලාදුරු රෝගීන් වැනි ශාරීරික හා මානසික රෝගවලින් පෙළෙන අය ගැනද අපි කියවමු. කෙසේවෙතත් ඔවුන් අසනීප තත්ත්වයට පත්වූයේ ඇයි සහ කෙසේද යන්න කිසි විටෙකත් ප්‍රධාන විෂය නොවීය. එනම් දෙවියන්වහන්සේගේ මහිමය හා පරමාධිපත්‍යයයි. උපතේ සිට අන්ධ වූ මිනිසා පිළිබඳ කථාවේ යේසුස්වහන්සේ පැවසුවේ “දෙවියන්වහන්සේගේ ක්‍රියා ඔහු තුළ ප්‍රදර්ශනය වන පිණිස” ඔහු මේ ආකාරයෙන් උපත ලැබූ බවය (යොහන් 9: 3).

අද අපට පසු විපරම් කිරීමේ වරප්‍රසාදය ඇති අතර, සමහර පුද්ගලයින් රෝගාබාධවලට ගොදුරු වූයේ මන්ද සහ ඔවුන්ගේ දුක් වේදනා අවසන් වූයේ කෙසේද යන්න දැක ගත හැකිය. නමුත් අප එය තුළ ජීවත් වන විට හෝ අපට සමීප පුද්ගලයින් රෝගාබාධවලට මුහුණ දෙන විට පිළිගැනීම හෝ තේරුම් ගැනීම බොහෝ අපහසුය. බොහෝ අය තම රෝගාබාධ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට වෙහෙසෙන අතර ඔවුන්ට කොපමණ කාලයක් රෝගය විඳදරාගත යුතුද යන්න සහ ඔවුන්ගේ ජීවිත වලට එය බලපාන්නේ කෙසේද යන්න ගැන කරදර වේ.

මගේ රෝගීන් සහ ඔවුන්ගේ පවුල් සමඟ ඇති වන එවැනි විපත්වලින් පීඩා විඳි මට, අවබෝධ වූයේ වඩා වැදගත් වන්නේ මිනිසුන් ඔවුන්ගේ රෝගාබාධවලට ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඔවුන් පිළිබඳ මා අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ කිරීමයි. ඔවුන් ප්‍රතික්‍රියා කරන ආකාරය ඔවුන්ගේ තත්ත්වය වඩා හොඳ හෝ නරක අතට හැරවිය හැකිය.

කිතුනුවන් වශයෙන් අපට ප්‍රතිචාර දැක්විය හැක්කේ දෙවියන්වහන්සේ වෙත හැරී අපගේ බලාපොරොත්තු උන්වහන්සේ කෙරෙහි තැබීමෙනි. අපට ක්ෂණිකව සුව නොවිය හැකිය. නැතහොත් කිසිසේත් සුව නොවිය හැක.- නමුත් යෝබ් මෙන් අපටත් උන්වහන්සේ මත රඳා සිටිමින් උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. උන්වහන්සේ ප්‍රේමණීය දෙවි කෙනෙකු බැවින්, අපගේ දුක් වේදනා දරා ගැනීමට උන්වහන්සේ අපට ශක්තිය ලබා දෙන අතර සෑම පියවරකදීම අප සමඟ ගමන් කරයි.

යෝබ්ගේ කතාවේ වඩාත්ම කැපී පෙනෙන දෙය නම්, අවසානයේදී ඔහු සුවය ලබා යථා තත්ත්වයට පත්වීම නොව, දුක්විඳීම් නොතකා දෙවියන්වහන්සේට දිගින් දිගටම ප්‍රශංසා කිරීමට ඔහුට හැකි වීමයි. එය ඔහුගේ ප්‍රබලම සාක්ෂිය වූ වේදනාව හා ශෝකය මධ්‍යයේ ඔහුගේ අඛණ්ඩ ඇදහිල්ලයි. අපි දිගින් දිගටම දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන විට අපි උන්වහන්සේව මහිමයට පත් කරමු.