"This article was originally published on YMI. Republished with permission."

කර්තෘ: කිම් චියුන්ග්, චීනය

 

කතු වැකිය: ශ්වසන මාර්ගයේ රෝගාබාධ ඇති කරන බෝවන වෛරසයක් වන කොරෝනා වයිරසය (2019-nCoV) 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ වුහාන් නගරයේ දී ව්‍යාප්තිය ඇරඹුනු අතර එතැන් සිට සංචාරකයින් විසින් වෙනත් රටවලට ගෙන යන ලදී. අද වන විට, මෙම වෛරසයෙන් 170 ක් මරණයට පත්ව ඇති අතර, ලොව පුරා සැක සහිත රෝගීන් 7,800 කට වඩා හමුවී ඇත.

පසුගිය දින කිහිපය තුළ කාලය ඉතා සෙමින් ගෙවී ගොස් ඇත.

මා ජියැන්ග්සු පළාතේ සිට මෙය ලියන විට, චීන අලුත් අවුරුද්දේ තුන්වන දිනයයි (2020 ජනවාරි 27). මෙය අපි පවුලේ අය සහ මිතුරන් බැලීමට ලහි ලහියේ යන කාලයකි. නමුත් ඒ වෙනුවට, අපි නිවසේ හිඳගෙන, කොරෝනා වෛරසය පැතිරීම පිළිබඳ සමාජ මාධ්‍යවල නවතම තොරතුරු නිරන්තරයෙන් පරීක්ෂා කරන්නෙමු. කෑමට යමක් මිලදී ගැනීම සඳහා ලග පාත කඩයකට යාම පවා දෙපා වලට දැඩි පීඩනයක් වී තිබේ.

වෛරසය පැතිරීම පිළිබඳව නිල මාධ්‍ය වාර්තා කිරීම ආරම්භ කර දින අටක් ගතවී ඇත. ජනවාරි 20 වන දින ප්‍රථම වරට ප්‍රවෘත්තිය දුටු විට, එය බැරෑරුම් නොවනු ඇතැයි මම සිතුවෙමි. ඇත්ත වශයෙන්ම, මම චීන අලුත් අවුරුද්ද සැමරීමට යුරෝපයේ සිට පැමිණි මිතුරන් දෙදෙනෙකු හමුවීමට යොදාගෙන තිබුනි. නමුත් අද මම මගේ සියලු හමුවීම් අවලංගු කර ඇත. ඉදිරි සති දෙක තුළ නිවසින් පිටව යාමට හෝ කිසිවෙකු බැලීමට මම සූදානම් නැත.

වෛරසය කිසිවෙකුට සිතාගත නොහැකි තරම් වේගයෙන් පැතිරී ඇත. වෛරසය පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිර යා හැකි බව එක රැයකින් තහවුරු විය. මුහුණු ආවරණ විකුණනු ලැබේ. වූහාන් නගරය සම්පූර්ණයෙන්ම වසා දමා ඇත. සුපිරි වෙළඳසැල් හිස් ය. . . කටකතා මිනිසුන්ගේ බිය වැඩි කරයි. සමාජ මාධ්‍ය හරහා සෑම තත්පරයකම අලුත් ප‍්‍රවෘතියක් ප‍්‍රකාශ වේ. විවිධ පුද්ගලයින් විසින් ඉදිරිපත් කරනු ලබන සංඛ්‍යා සමඟ නිල සංඛ්‍යා පිළිබඳ අවිශ්වාසයද මේ සමඟම ඇති වේ. ඇත්ත වශයෙන්ම වෛරසය ආසාධනයවී ඇති පුද්ගලයින් කීදෙනෙක්ද? කී දෙනෙක් මියගොස් ඇත්ද? කිසිවෙකු නිසැකවම දන්නේ නැත.

දින කිහිපයකට පෙර, මිනිසුන් පිරි වීථි දැක ගත හැකි විය. නමුත් අද, වීථි මුළුමනින්ම හිස් ය, අවතාර නගරයක් මෙන්ය. සෑම දෙනාම පාහේ භීතියට පත්ව ඇති අතර වයෝවෘද්ධ අය පවා වෛරසය කෙතරම් භයානකද යන්න සාකච්ඡා කිරීමට පටන් ගෙන තිබේ.

මෙම නව කොරෝනා වයිරසය කෙතරම් භයානක විය හැකිදැයි අපි නොදනිමු. සමහර හොංකොං විශේෂඥයන් අනුමාන කර ඇත්තේ වෛරසයේ බලපෑම SARS වලට වඩා 10 ගුණයක් විය හැකි අතර අනෙක් විශේෂඥයන් පවසන්නේ මෙම වසංගතය වඩා භයානක නොවන බවයි. මේ මොහොතේ, වෛරසයේ ආරම්භය කෙසේදැයි තවමත් තහවුරු කර නොමැත. සියලු අනුමානයන්ට වඩා, වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණ පහලවීමේ කාලය දින 14 ක් දක්වා පැවතිය හැකි අතර, ඒ කාලය තුළ පවා එය පැතිර යා හැකිය යන්න අපගේ භීතියට හේතු වේ.

දින දෙකකට පෙර, වූහාන් රෝහල්වල සැබෑ තත්ත්වය ගැන මිතුරෙකු බෙදාගන්නා අයුරු මා දුටු අතර මගේ හදවතට මහත් බරක් විය. රෝහල් රෝගී පුද්ගලයින්ගෙන් පිරී ඇති අතර ඔවුන්ට රැකබලා ගැනීමට හැකියාවක් නැත. වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් හෝ මුහුණු ආවරණ නොමැති අතර දවස පුරා ආහාර වේලක් සඳහා පවා විරාමයක් ගත නොහැක. ආහාර සැපයුම පවා හිඟය. වෛද්‍ය කාර්ය මණ්ඩලය වෙහෙස මහන්සි වී වැඩ කරන අතර දිනකට එක් ආහාර වේලක් පමණක් ඔවුන්ට ලබා ගත හැකිය. ඒ ක්ෂණික නූඩ්ල්ස් වැනි යමක්ය. හෙදියන් බිඳී ගිය හදවතින් කඳුළු සලමින් වෙහෙසෙති.

මගේ හදවතද බිඳී ගිය බවක් දැනුනි. මට තවදුරටත් රූපවාහිනියේ ප්‍රවෘත්ති වාර්තා නැරඹීමට නොහැකි විය. මෙම පසුබිම හමුවේ යමෙකු තම බලාපොරොත්තු සුන් කර නොගන සිටින්නේ කෙසේද? එහෙත්, යාච්ඤාව පසෙක තබා මට වෙන කිසිවක් ගැන සිතිය නොහැකි විය.

අද දහවල් වන විට වූහාන්හි මාගේ කිතුනු හිතවතුන් දෙදෙනෙකුට උණ ඇති බවත්, ඔවුන්ටද වෛරසය ආසාදනය විය හැකි බවත් මට දැනගන්නට ලැබුනි. මගේ හදවත ඊටත් වඩා බර විය. අනාගතය කෙබඳු වේද? මෙය ගෝලීය ව්‍යසනයක් බවට පත්වේවිද? අවසාන කාලය සැබවින්ම මෙහි තිබේද? මෙම ප්‍රශ්න මාලාව හමුවේ මා ඊටත් වඩා කනස්සල්ලට හා අසරණභාවයට පත්විය.

එහෙත්, මේ මොහොතේ, ලෝකයට අවශ්‍ය අන්තිම දෙය වන්නේ කලබලවීම සහ බලාපොරොත්තු සුන්වීමයි. එහෙත් අපට වඩාත්ම අවශ්‍ය වන්නේ බලාපොරොත්තුවයි. මේ තත්ත්වය යටතේ, අපට බලාපොරොත්තු තැබිය හැක්කේ වසංගතය පාලනය කිරීමේ සහ සුව කිරීමේ ක්‍රමවේදයක් හමු වූ විට පමණි. දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අපද එම බලාපොරොත්තු සුන්වීමකට වැටී තිබේද? අපගේ බලාපොරොත්තුව පවතින්නේ දෘශ්‍යමාන ප්‍රතිකාරයක් තුළ පමණක් නම්, විශ්වාස නොකරන අයට වඩා අප අනුකම්පා ලැබිය යුතු නොවේද? (රෝම 8:24)

අප භීතියෙන් හා බලාපොරොත්තු සුන්වීමෙන් වට වූ විට, අපි දෙවියන්වහන්සේව හා උන්වහන්සේගේ වචනය වඩා තදින් අල්ලා ගත යුතුය, උන්වහන්සේ අපේ එකම බලාපොරොත්තුවයි. මෙම සත්‍යයන් අපගේ හදවත් ශක්තිමත් වේවා!

දෙවියන් වහන්සේ තවමත් පාලනය කරයි

තත්ත්වය භයානක ලෙස පෙනුනද, ස්ථිර දෙය මෙයයි: අපගේ දෙවියන්වහන්සේ තවමත් පාලනය කරයි. ජීවිත සොරකම් කිරීම, මරා දැමීම හා විනාශ කිරීම වැනි කාර්යයන් ඉටු කිරීමට නපුරාට වුවමනා වුවද දෙවියන්වහන්සේ තවමත් සම්පූර්ණයෙන්ම පාලනය කරයි. උන්වහන්සේගේ අවසරයකින් තොරව මේ කිසිවක් සිදු නොවනු ඇත. උන්වහන්සේ එයට ඉඩ නොදෙන්නේ නම්, අපගේ හිසෙහි කෙස් ගසක් වත් බිම වැටෙන්නේ නැත (ලූක් 12: 6-7). මම මේ සත්‍යය තදින් අල්ලාගෙන සිටින විට මට සැනසීමක් ලැබිය හැකිය.

දෙවියන් වහන්සේ කිසි විටෙකත් අපව අත් නොහරිනු ඇත

දෙවියන්වහන්සේ කිසි විටෙකත් අපව අත් නොහරින බවට පොරොන්දු වී ඇත. මෙම පීඩා සහ රෝගාබාධ මධ්‍යයේ වුවද, උන්වහන්සේ තවමත් අප සමඟ සිටී. උන් වහන්සේ අපව අවසානය දක්වා ගළවනු ඇත (යොහන් 6:37).

උන්වහන්සේ අප සමඟ සිටින බව අප දන්නා බැවින්, අප කරදර විය යුතු නැත, බිය විය යුතු නැත (මතෙව් 10:28). වෛරසය භයානක වුවත්, අහසේ හා පොළොවේ මැවුම්කරු අප සමඟ සිටින අතර අපට සාමය ලැබිය හැකිය.

දෙවියන් වහන්සේ මගක් ලබා දෙනු ඇත

මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් ඔබ සැමට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ ඔබ සැමගේ පුළුවන්කමට වඩා ඔබ සැම පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, ඔබ සැමට පරීක්ෂාව ඉවසිය හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙනසේක. (1 කොරින්ති 10:13)

මෙය උන්වහන්සේ අපට දුන් පොරොන්දුවයි. අප දකින ප්‍රවෘත්ති ගැන අපට බියක් හෝ භීතියක් දැනෙන විට, අපි මෙම කොටස ගැන නැවත නැවතත් මෙනෙහි කරමු. අපට දරාගත නොහැකි දේ අත්විඳීමට දෙවිඳුන් අපට ඉඩ දෙන්නේ නැත. උන්වහන්සේ මේ සියල්ල දැනටමත් දන්නා අතර අපට නොපසුබස්නා උත්සාහයක් ඇති කර ගැනීමට මගක් ලබා දෙනු ඇත.

අප මෙම සත්‍යයන් තදින් අල්ලාගෙන සිටින විටල අපිත් නොකඩවා යාච්ඤා කරමු. බොහෝ සභා ආරක්ෂිත හේතූන් මත රැස්වීම් නවතා දමා ඇතත්, මේ දිනවල අපට අපගේ පවුලේ අය සමඟ නිවසේ රැස්වී යාච්ඤා කළ හැකිය. මම අද දහවල් ලූක් 4:17-22 අධ්‍යයනය කළ විට, ශුභාරංචිය සැබවින්ම කුමක්දැයි නැවත වරක් සලකා බැලුවෙමි.

යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළ ශුභාරංචිය අපගේ ආත්මයන්ගේ ගැළවීම පිළිබඳවය. නමුත් පව්කාරයන් වශයෙන් අප අපගේ මාංසය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට පෙළඹේ. වසංගතය පිළිබඳ පුවත පැතිර ගිය දා සිට, මම මගේ දුරකථනයේ ප‍්‍රවෘත්ති කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට පටන් ගෙන ඇති අතර, නවතම තොරතුරු සඳහා නිරන්තරයෙන් ඒ දෙස යොමු විය. නමුත් මා ඇසූ බොහෝ තොරතුරු ඇත්ත වශයෙන්ම කටකතා බවට පත්වී ඇති අතර, භීතිය වැඩි කිරීම හැර වෙනත් කිසිදු බලපෑමක් නොවීය. ඒ වෙනුවට මම වැඩිපුර යාච්ඤා කරමින් දෙවියන්වහන්සේගේ වචන මෙනෙහි කරමින් නොසිටියේ ඇයි?

අවසාන වශයෙන්, අපි වූහාන් හි ආත්මයන් සහ චීනයේ නැතිවූ සියලු දෙනා වෙනුවෙන් යාච්ඤා කළ යුතුය. වෛරසයට ප්‍රතිකාරයක් සොයා ගැනීම ඉතා සුදුසුය. නමුත් එය විසඳන්නේ ශාරීරික දුක් වේදනා පමණි. සැබෑ ශුභාරංචිය තවමත් නොදැන සිටින අය සැබෑ ජීවිතය ලබා ගැනීමට හා සදාකාලික දුක් වලින් මිදීම උදෙසා අපි යාච්ඤා කළ යුතු නොවේද?

දෙවියන්වහන්සේ අපගේ හදවත් ශක්තිමත් කරත්වා, එවිට නිවසේ රැඳී සිටීමට, උන්වහන්සේව වඩාත් හොඳින් දැන හඳුනා ගැනීමට, උන්වහන්සේ හදුනා නොගත් ආත්මයන් වෙනුවෙන් තවත් යාච්ඤා කිරීමට අපට බල කෙරෙන මේ දින කිහිපය භාවිතා කළ හැකිය. දෙවියන්වහන්සේ තවමත් පාලනය කරයි. උන්වහන්සේගේ පොරොන්දු උන්වහන්සේ කිසි විටෙකත් නොකඩයි. උන්වහන්සේගේ කැමැත්ත ඉෂ්ට වේ.