සමාව දීමේ ඇති වැදගත්කම සමූල ඝාතනයෙන් දිවි ගලවාගත් කොරී ටෙන් බූම් දැන සිටියාය. Tramp for the Lord  (ස්වාමින්වහන්සේ වෙනුවෙන් බරට අඩි තබා ඇවිදීම) නමැති පොතෙහි තමාගේ මනසේ තිබූ ඇගේ ප්‍රියතම චිත්‍රයක් ගැන පැහැදිලි කරන්නීය. එනම් සමාව ලැබූ පාප මුහුදට විසිකරනු ලැබීමයි.
“අපි අපගේ පාප කියා දුන් විට දෙවියන්වහන්සේ ඒවා ගැඹුරු මුහුදට හෙළා දමන සේක. ඒවා සදහටම නැතිවේ…. මා විශ්වාස කරන්නේ ඊළඟට දෙවියන්වහන්සේ ඒ ස්ථානයෙහි “මාළු බෑම තහනම්” කියා සළකුණක් ගසන බවයි.”

යේසුස්වහන්සේගේ ඇදහිලිවතුන්ට සමහර විට ග්‍රහණය කරගන්නට අපොහොසත් වන වැදගත් සත්‍යයක් ඇය ඉස්මතු කරයි – එනම් දෙවියන්වහන්සේ අපගේ වැරදිවලට සමාව දුන් විට, අපට සම්පූර්ණයෙන්ම සමාව ලැබෙන්නේය! අපගේ ලැජ්ජා සහගත වැරදි නැවත නැවතත් හාරා බැලීමෙන් පරණ මඬේ නෑම අනවශ්‍යවනු ඇත. ඒ වෙනුවට අපට උන්වහන්සේගේ අනුග්‍රහය සහ සමාව පිළිගෙන, නිදහසේ උන්වහන්සේව අනුගමනය කළ හැක.

ගීතාවලිය 130 හි “මාළු බෑම තහනම්” යන සංකල්පය අපි දකින්නෙමු. ගීතිකාකරු ප්‍රකාශකරන්නේ දෙවියන්වහන්සේ යුක්ති සහගත නමුත් පසුතැවිලි වන අයට උන්වහන්සේ සමාව දෙන සේක: “ඔබ වෙත කමාව ඇත්තේය” (4 පදය). ගීතිකාකරු දෙවියන්වහන්සේ කෙරෙහි බලා සිට, උන්වහන්සේ මත තම විශ්වාසය තබමින් (5පදය), ඇදහිල්ලෙන් පවසන්නේ, දෙවියන්වහන්සේ “ඉශ්‍රයෙල් ඔහුගේ අයුතුකම් සියල්ලෙන් මුදා හරිනසේක” (8පදය) කියාය. එසේම විශ්වාස කරන අයට “බොහෝසෙයින් මිදීම” ලැබෙන බවය (7 පදය).

ලැජ්ජාව සහ නුසුදුසුකමේ හැඟීම් අප වෙලාගත් විට, අපට පූර්ණ හදවත් වලින් දෙවියන්වහන්සේට සේවය කිරීමට නොහැකිය. ඒ වෙනුවට අපි අපගේ අතීත සිදුවීම් වලින් සීමාවී සිටින්නෙමු. ඔබ කළ වැරදි නිසා ඔබ අකර්මන්‍ය යයි දැනේ නම් උන්වහන්සේගේ සමාව සහ නව ජීවනය යන ත්‍යාගය ගැන සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට උපකාර වන්න යයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. උන්වහන්සේ ඔබගේ පාප මුහුදට දමා ඇත්තේය!