ඉඩමේ පසුපස පාත්තියක බීජ කිහිපයක් සිටුවා මම ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටියෙමි. බීජ දින දහයේ සිට දහහතරක් ඇතුළත පැලවෙන බව මම කියවා තිබූ හෙයින් පොළොවට ජලය දමමින් මම නිතරම ඒ ගැන සොයා බැලුවෙමි. ඉක්මණින් කොළ වර්ණ පත්‍රිකා කිහිපයක් පොළොවෙන් මතුවෙනවා මම දුටුවෙමි. නමුත් මාගේ ප්‍රීතිය නැති වූයේ මගේ ස්වාමි පුරුෂයා ඒවා වල් පැළෑටි බව කී විටය. ඉක්මණින් ඒවා උගුලා දමන්න යයි ඔහු මාව දිරි ගැන්වූයේ මම වවන්න උත්සාහ කරන පැළෑටි යට කරමින් ඒවාට ඉස්මතු වන්න ඉඩ නොතබන ලෙසටයි.

යේසුස්වහන්සේද අපගේ ආත්මික වර්ධනය මර්ධනය කරන ආක්‍රමණිකයන් හා කටයුතු කිරීමේ වැදගත් කම ගැන කියා දුන් සේක. උන්වහන්සේ තම උපමාවක කොටසක මෙසේ විස්තර කළ සේක. වපුරන්නා බීජ වපුරන විට
“අන් සමහරක් කටු අතරෙහි වැටුණේය. කටු ගස් වැවී ඒවා යටකර දැම්මේය” (මතෙව් 13:7). කටු හෝ වල් පැළ පැළෑටි කරන්නේ එයය. එහි වර්ධනය නවතා දමයි (22 පදය). එසේම කණස්සල්ල අපගේ ආත්මික වර්ධනය මොට කර දමයි. දේව වචනය කියවා යාච්ඤා කිරීම අපගේ ඇදහිල්ල වර්ධනය කර ගැනීමට හොඳ ක්‍රම වූවත් කණස්සල්ල නැමැති කටු ගැන අපි සැළකිල්ලෙන් සිටිය යුතු බව මම සොයා ගත්තෙමි. මා තුළ පැළ කර ඇති යහපත් වචන යට කර දැමීමට ඒවාට පුලුවන් වන අතර වැරදිය හැකි දේවල් වෙතට මගේ අවධානය යොමු කිරීමටද ඒවාට පුලුවන් වන්නේය.

දේව වචනයෙහි හමුවන ආත්මයාණන්ගේ ඵල වල ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය ඇතුළත් වේ (ගලාති 5:22). නමුත් එම ඵල උපදවන්න නම් උන්වහන්සේ හැර අන් දේවල් වලට අපගේ අවධානය යොමු කරවන සැකයේ සහ කණස්සල්ලේ වල් පැල උදුරා දැමීමට අපට දෙවියන්වහන්සේගේ ශක්තිය අවශ්‍ය වන්නේය.