1940 දී ජර්මානුවන් විසින් නෙදර්ලන්තය ආක්‍රමණය කළ අවස්ථාව වන විට ඩීට් ඒමන් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණු, රැකියාවක් කරමින් පවුලේ අය සහ මිතුරන් සමග විනෝද වෙමින් නෙදර්ලන්තයේ විසූ සාමාන්‍ය ලැජ්ජාශීලි තරුණියක් වූවාය. පසුව ඩීට් ලීවේ “ඔබගේ දොරකඩ අසළ අනතුරක් තිබෙන විට වැලි යට හිස සඟවා ගන්නා පැස්බරෙකු මෙන් ක්‍රියා කරන්න ඔබට අවශ්‍ය වනු ඇත” කියාය. කෙසේ වෙතත් ජර්මානු පීඩාකරුවන්ට එරෙහි වන්න දෙවියන්වහන්සේ තමන්ව කැඳවන බව ඩීට්ට හැඟුණි. එයට තමාගේ ජීවිත අවදානම ඇතුළත් වූවත් යුදෙව්වන් සහ වෙනත් පලා ගිය ජනතාවට සැඟවෙන ස්ථාන සෙවීමට ඇය පටන් ගත්තාය. මෙම නිහතමානී තරුණිය දෙවියන්වහන්සේ උදෙසා රණශූරියක් වූවාය.

දෙවියන්වහන්සේට සේවය කිරීමට නොහැකි යයි පෙනෙන චරිත භාවිතා කරමින් ඩීට්ගේ කථාවට සමාන බොහෝ කථා අපට බයිබලයේ දක්නට ලැබේ. නිදසුනක් ලෙසට ස්වාමීන්වහන්සේගේ දූතයා ගිඩියොන් වෙත ළඟා වූ විට “ධෛර්ය්‍යමත් බලවත් මනුෂ්‍යය, ස්වාමින්වහන්සේ නුඹ සමග සිටින සේක” (විනිශ්චයකාරයන්ගේ පොත 6:12) යයි කිීය. එසේ වූවත් ගිඩියොන් ධෛර්ය්‍යමත් බලවත් මනුෂ්‍යයෙක් ලෙස කොහෙත්ම නොපෙණුනි. ඒ කාලයේදී ඊශ්‍රායලය පීඩාකාරී ලෙස පාලනය කළ මීදියන්වරුන්ට රහසින් ඔහු තිරිඟු මඩිමින් සිටියේය (1-6; 11 පද). ඔහු ඊශ්‍රායලයේ දුර්වලම වංශයෙන් (මනස්සේ) පැවත ආවේය. එසේම පවුලේ “ඉතාම කුඩා තැනැත්තා” වූයේය (15 පදය). තමා දෙවියන්වහන්සේගේ කැඳවීමට සුදුසු යයි ඔහුට නොසිතුණු අතර සළකුණු කිහිපයක්ද ඉල්ලා සිටියේය. එසේ වුවත් කෲර මීදියන්වරුන්ව පරාජය කිරීමට දෙවියන් වහන්සේ ඔහුව පාවිච්චි කළ සේක (7 වන පරිච්ඡේදය බලන්න).

දෙවියන්වහන්සේ ගිඩියොන්ව දුටුවේ “බලවත්” අයෙක් ලෙසටය. දෙවියන්වහන්සේ ගිඩියොන් සමග සිටිමින් ඔහුව සන්නද්ධ කළාක් මෙන් උන්වහන්සේගේ “අති ප්‍රේමණීය දරුවන්” වන අප සමගත් සිටිමින් (එපීස 5:1) අපට ජීවත් වීමට සහ කුඩා හා විශාල ලෙස උන්වහන්සේට සේවය කිරීමට අවශ්‍ය සියල්ල සපයන සේක.