බැලූ බැල්මට මාකෝටෝ ෆුජිමුරා විසින් අඳින ලද “ලිලී මල් සලකා බලන්න” යන සිතුවම පසුබිමේ සැඟවී සිටින ලිලී මලක් සහිත සරල, ඒකවර්ණ සිතුවමක් ලෙස මම ප්‍රතික්ෂේප කළෙමි. කෙසේ වෙතත්, චිත්‍රය නිහොන්ගා ලෙස හැඳින්වෙන ජපන් චිත්‍ර ශෛලියේ සිහින්ව තලා දැමූ ඛනිජ වලින් “ස්ථර (තට්ටු) අසූවකට” වඩා පින්තාරු කර ඇති බව මා දැනගත් විට එය ජීවයක් ගෙන දුණි. මෙම චිත්‍ර ශෛලියට “මන්දගාමී කලාව” ලෙස ෆුජිමුරා කියනු ලබයි. සමීපව බැලීමෙන් සංකීර්ණත්වයේ සහ අලංකාරයේ ස්ථර (සිහින් ඛනිජ තට්ටු) හෙළි වේ. ෆුජිමුරා පැහැදිලි කරන්නේ යේසුස්වහන්සේගේ දුක් වේදනා තුළින් ලෝකයට සම්පූර්ණත්වය සහ බලාපොරොත්තුව ගෙන දුන් ආකාරයටම, “බිඳුණු බව තුළින් අලංකාරය” ඇති කිරීමේ තාක්ෂණය තුළ ශුභාරංචිය ප්‍රතිරාවය කරන බව ඔහු දකින බවයි.

දෙවියන්වහන්සේ ප්‍රිය කරන්නේ අපව තලා දැමූ සහ කැඩී ගිය අපගේ ජීවිතයේ කොටස් ගෙන අලුත් හා ලස්සන දෙයක් නිර්මාණය කිරීමටයි. තමාගේම විනාශකාරී ක්‍රියා නිසා ඇති වූ ඔහුගේ ජීවිතයේ බිඳවැටීම් අලුත්වැඩියා කිරීමට දෙවියන්වහන්සේගේ උපකාරය දාවිත් රජුට අවශ්‍ය විය. වෙනත් පුරුෂයෙකුගේ බිරිඳක් රැගෙන ඇගේ ස්වාමිපුරුෂයා ඝාතනය කිරීම සඳහා ඔහුගේ රාජකීය බලය අනිසි ලෙස භාවිතා කළ බව පිළිගැනීමෙන් පසුව ලියන ලද ගීතාවලිය 51 හී දාවිත් රජතුමා දෙවියන්වහන්සේට ඔහුගේ “බිඳුණු සහ තැළුණු හදවත” (පදය 17) පූජා කර දෙවියන්වහන්සේගේ දයාව බැගෑපත්ව ඉල්ලා සිටියේය. “බිඳුණු” යන වචනයේ හෙබ්‍රෙව් වචනය “නිඞ්කේ” වන අතර, එහි තේරුම “පොඩි කරනු ලැබූ” යන්නයි.

දෙවියන්වහන්සේට, දාවිත්ගේ හදවත නැවත සකස් කිරීමට (10 පදය), දාවිත්ට මුලින්ම ඔහුගේ බිඳුණු සහ තැළුණු හදවත පිරිනැමීමට සිදු විය. එය දුක සහ විශ්වාසය යන දෙකම පිළිගැනීමක් විය. දාවිත් තමාගේ හදවත විශ්වාසවන්ත සහ සමාව දෙන දෙවියන්වහන්සේට භාර දුන්නේය, උන්වහන්සේ තැළුණු දේ ප්‍රේමයෙන් ගෙන එය අලංකාර දෙයක් බවට පත් කරන සේක.