“වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” (ශු. මතෙව් 11:28)

නීති විරෝධී මත්ද්‍රව්‍ය අදවන විට ශ්‍රී ලාංකික තරුණ පරපුර මුහුණ දෙන දැවැන්ත අභියෝගයක් වී ඇත. මෑත කාලීනව වැඩි වශයෙන් මෙම නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් පොලීසිය මගින් කළද තාක්ෂණයේ දියුණුවත් සමඟ අලුත් අලුත් ආකාරයේ මත්ද්‍රව්‍ය ලොවට බිහි වෙමින් පවති. මෙයට අද වන විට ශ්‍රී ලාංකික පාසැල් දරුවන් පවා ගොදුරුවී තිබීම කණගාටුවට කරුණකි. එමෙන්ම මෙය රටක ආර්ථික, සමාජීය හා සෞඛ්‍ය අංශ කෙරෙහි කරන බලපෑම සුළු පටු නොවේ. මේ අතරින් අයිස් යනු මෑත කාලීනව අපට බහුල ලෙස අසන්න ලැබෙන ශ්‍රී ලාංකික තාරුණ්‍යයට වින කරන නවතම මත් රකුසෙකි.

අයිස් කියන්නෙ මොනවද?

ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් නමින් විද්‍යාත්මකව හදුන්වන මෙය, සුදු හෝ දුඹුරු පැහැති කුඩා පළිගු වැනි කුඩක් ලෙස දක්නට ලැබේ. මෙය ශරීරගත වූ විට මොලය හා ශරීරය අතර පණිවුඩ ගෙනයාම වේගවත් කරයි. බහුල වශයෙන් දුමක් ලෙස මෙය භාවිතා කරන්නේ ඉන් ලැබෙන ඉක්මන් ප්‍රතිඵල නිසාය. එන්නත් මගින්, කුඩ නාසයට ඉරීම හෝ ආහාරයට ගැනීම වැනි ක්‍රම වලින් ප්‍රතිඵල ලැබීමට පැය භාගයක පමණ කාලයක් ගතවේ.

අයිස් භාවිතා කළ විට මොකද වෙන්නෙ?

මෙය භාවිතා කළ විට විනාඩි කීපයකට ඉතා උද්යෝගිමත් තත්ත්වයකට පත්වේ. එනම් අසාමාන්‍ය සතුටක් සහ උද්යෝගිමත් භාවයක්. ඉන්පසු පැය කීපයකට සාමාන්‍ය බලපෑමක් පවති. මෙහි බලපෑම අඛන්ඩව පවත්වාගැනීමට දිගිනි දිගටම මත්ද්‍රව්‍ය භාවිතය අවශ්‍ය වීම මෙහි භයානක තත්ත්වයයි.

මෙම මත්ද්‍රව්‍ය භාවිතයේදී ශාරීරිකව දැකිය හැකි තත්ත්වයන් සමහරක්නම් තොල් වියලීම, ඇස් විශාල වීම, හද ගැස්ම ඉහල යාම, හුස්ම ගැනීමේ අපහසුතා, හිසේ කැක්කුම වැනි ලක්ෂන වලට අමතරව හෘදයාබාධ ඇතිවීම වැනි අවධානම් තත්ත්ව පවා වේ.

කෙනෙක් මෙම මත්ද්‍රව්‍ය වරක් භාවිතා කර නැවැත්වූ විට එය භාවිතයෙන් ලැබූ අත්දෑකීමේ ප්‍රතිවිරුද්ධ අත්දැකීමක් ලබයි. එනම් මානසික පීඩනය, පෙනීම අඩුවීම, නින්ද නොයාම විකාර රූප මැවී පෙනීම වැනි දේය. මේ නිසා උවමනාව තිබුනද මෙයින් නිදහස්වීම පහසු කාරණයක් නොවේ.

මින් නිදහස් වීමට මොකද කරන්න ඕනෙ?

මනුෂ්‍යයාට කළ නොහැකි දේ දෙවියන්වහන්සේට පුළුවන. එමනිසා මේ කරනයේදී අපි දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ සම්පූර්ණ විශ්වාසය තැබිය යුතුය. එනම් සියළු බලය ඇති දෙවියන්වහන්සේට මාව මින් නිදහස් කළ හැකි බවය. උන්වහන්සේගේ වචනයට ඇහුම්කන් දෙන්න. “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි” (ශු. මතෙව් 11:28) යනුවෙන් යේසුස්වහන්සේ කී සේක. අපගේ වෙහෙස කුමක් වූවත් අපගේ ජීවන බර කොපමණ වැඩි වූවත් අපට සහනය දීමට උන්වහන්සේට පුළුවන.

එමෙන්ම අප තීරණයක් ගත යුතුය. එනම් “මට මෙම ඇබ්බැහිකමින් නිදහස් වෙන්න ඕනෙ” කියාය. ඉන්පසු යාච්ඤාවෙන් අපි උන්වහන්සේට අපගේ ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය. අපව මත්ද්‍රව්‍ය වෙත යෙමු කරවන වේලාවන් හා පරිසරයන් අප මඟ හැරිය යුතුය. එවැනි වේලාවන් වෙනත් කටයුත්තකට යොමු කිරීමට උත්සාහ කළ යුතුය.

මෙවැනි ඇබ්බැහි කමකට ඔබත් හසුවී සිටීද? නැතිනම් ඔබ දන්නා එවැනි කෙනෙකුට ඉන් නිදහස්වීමට උපකාර කිරීමට ඔබත් කැමතිද? එසේනම් ඉන් නිදහස් වීමට ඔබ තීරණයක් ගන්න. වෙනත් කෙනෙකුට නම් එවැනි තීරණයක් ගැනීමට මඟ පෙන්වන්න. එලෙස මඟ පෙන්වීමට ඔබට හැකි වන පිණිස යච්ඤාවෙන් උන්වහන්සේගේ ප්‍රඥාව ඉල්ලා සිටින්න.

තීරණය ගත් පසු යාච්ඤාවෙන් එය දෙවියන්වහන්සේට භාර දෙන්න. මෙවැනි යාච්ඤාවක් සෑහේ.

ආදරනීය යේසුනි, මට මෙම ඇබ්බැහිකමින් නිදහස් වෙන්න ඕනෙ. මාව මින් නිදහස් කිරීමට ඔබවහන්සේට හැකි බව මම විශ්වාස කරමි. මාගේ පාපයට සමාව දුන මැනව. මගේ ජීවිතයේ පාලනය ඔබවහන්සේ බාරගත මැනව. මාව මින් සම්පූර්ණයෙන්ම නිදහස් කළ මැනව. ආමෙන්.

දැන් ඔබ මෙම යාච්ඤාව විශ්වාසකරමින් කළ බැවින් දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතයට පැමිනි බවත් ඔබට මඟපෙන්වීමට සූදානම් බවත් විශ්වාස කරන්න.
දෙවියන්වහන්සේට ගෞරවයෙන් නමස්කාර කරන දේවස්ථානයකට එකතුවන්න.

දේව වචනය කියවා දෙවියන්වහන්සේ ගැන වැඩි දුර දැන ගන්න. යාච්ඤාවෙන් නිතරම උන්වහන්සේට කතා කරන්න.

මත්ද්‍රව්‍ය පුනුරුත්තාපන මධ්‍යස්ථානයක් හදුනා‌ගෙන එයට සහභගි වන්න. එහිදී ඔබව මත්ද්‍රව්‍ය සඳහා පොළඹවන පරිසරයෙන්, කාලයෙන් හා මිතුරන්ගෙන් ඈත්ව සිටීමටත්, ශරීරිකව හා මානසිකව ඇතිවන අපහසුතා මඟහැර ගැනීමටත් පලපුරුදු උපදේශකයන් මඟ පෙන්වනු ඇත. පුනුරුත්තාපන මධ්‍යස්ථානයක් හදුනා‌ ගැනීමට දේවස්ථානය ඔබට මඟ පෙන්වනු ඇත.

 

අවසාන වශයෙන් උන්වහන්සේගේ පොරොන්දුව තදින් අල්ලා ගන්න.
එහෙයින් පුත්‍රයා (යේසුස්වහන්සේ) නුඹලා නිදහස්කරන්නේ නම් සැබැවින් නුඹලා නිදහස්වන්නහුය. (ශු. යොහන් 8:36)

Photo by GoaShape on Unsplash