අවමංගල්‍යය උත්සවයක මා හට යාච්ඤා මෙහෙය වීමට සකසා තිබූ යාච්ඤා කූඩුවේ සිට බලද්දී “මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමු” (යොහන් 12:21) යනුවෙන් සඳහන් කර තිබූ පිත්තල පතුරක් දුටුවෙමි. අප කඳුළෙන් සහ සිනහවෙන් සමරන මෙම ස්ත්‍රිය තුළ යේසුස්වහන්සේ දුටු බව මතක් කිරීම කෙතරම් සුදුසුදැයි මම කල්පනා කළෙමි. ඇයට අභියෝග සහ බලාපොරාත්තු කඩවීම් පැමිණියද ඇය ක්‍රිස්තුස්වහන්සේ තුළ තබා තිබූ ඇදහිල්ල කිසි දිනෙක අත් හැරියේ නැත. ඇය තුළ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් ජීවත්වූ නිසා අපට යේසුස්වහන්සේ දැකිය හැකි විය.

යේසුස්වහන්සේ යෙරුසලමට පැමිණි පසු (යොහන් 12:12-16) සමහර ග්‍රීක්වරු පැමිණ පිලිප්ගෙන් “මහතාණෙනි, අපි යේසුස්වහන්සේ දකින්ට කැමැත්තෙමු” යයි කී ආකාරය සඳහන් කරයි (21 පදය). ඔව්හු යේසුස්වහන්සේ කළ සුව කිරීම් සහ හාස්කම් ගැන කුතුහලයට පත්වන්නට ඇත. නමුත් ඔවුන් යුදෙව්වෝ නොවුණි. ඔවුන්ට මාලිගාවේ ඇතුල් ශාලාවලට යාමට අවසර නොතිබුණි. එම ඉල්ලීම යේසුස්වහන්සේ වෙත පැමිණි විට තමන්වහන්සේ මහිමයට පත්වීමට කාලය හරි බව උන්වහන්සේ කී සේක (23 පදය). ඉන් උන්වහන්සේ අර්ථවත් කළේ තමන්වහන්සේ සියල්ලන්ගේ පාප වෙනුවෙන් මිය යන බවය. උන්වහන්සේ තම දූත මෙහෙවර සම්පූර්ණ කරනු ඇත. ඒ යුදෙව්වන්ට පමණක් නොව ග්‍රීකයන්ද වෙනුවෙනි (20 පදය බලන්න). එවිට ඔවුන්ද යේසුස්වහන්සේ දකිනු ඇත.

යේසුස්වහන්සේ මියගිය පසු උන්වහන්සේ තම ඇදහිලිවතුන් තුළ ජීවත්වීමට ශුද්ධාත්මයාණන්වහන්සේ එවූ සේක (14:16-17). එසේ අපි යේසුස්වහන්සේට ප්‍රේම කරමින් සේවය කරන විට අපගේ ජීවිතවල යේසුස්වහන්සේ ක්‍රියා කරන ආකාරය අපි දකින්නෙමු. අප අවට සිටින අයටද දෙවියන්වහන්සේ දැකිය හැකිය.