මම මාගේ බයිබලය දේශනා වේදිකාව මත තබා මාගේ පණිවුඩය ආරම්භ කරන තෙක් උනන්දුවෙන් බලා සිටි අයගේ මුහුණු දෙස බැලුවෙමි. මම යාච්ඤා කර සුදානම් වූයෙමි. නමුත් මට කථා කළ නොහැක්කේ ඇයි?

“ඔබ වැඩකට නැති කෙනෙක්. කිසිවෙක් ඔබට ඇහුම්කන් දෙන්නේ නැත. විශේෂයෙන් ඔවුන් ඔබේ අතීතය දන්නේ නම්. දෙවියන්වහන්සේ ඔබව කිසි විටෙකත් පාවිච්චි නොකරනු ඇත”. මගේ හදවතට සහ මනසට හසුවූ මෙම වචන මගේ ජීවිත කාලය පුරාම විවිධාකාරයෙන් කථා කළ අතර මා එතරම් පහසුවෙන් විශ්වාස කළ බොරුවලට එරෙහිව දශකයක් පුරා යුද්ධ කර තිබුණි. එම වචන සත්‍ය නොවන බව මා දැන සිටියත් මගේ අනාරක්‍ෂිත භාවයෙන් සහ බියෙන් මිදීමට මට නොහැකි වුනි. ඒ නිසා මම බයිබලය විවර කළෙමි.

හිතෝපදේශ 30:5 පෙරළා ගෙන එය ශබ්ද නගා කියවීමට පෙර මම සෙමෙන් ආශ්වාස-ප්‍රාශ්වාස කළෙමි.
“දෙවියන්වහන්සේගේ සියලු කීම් පවිත්‍රය. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නන්ට උන්වහන්සේ පලිහක්ය” යයි මම කියවූයෙමි. සමාදානය මා වෙළා ගනිද්දී මම දෑස් පියාගෙන මගේ සාක්‍ෂිය සමූහයා සමග බෙදා ගැනීමට පටන් ගත්තෙමි.

අන් අය අප ගැන දරණ අපව අඩපණ කිරීමේ බලයක් ඇති සෘණාත්මක වචන හෝ අදහස් හෝ අප බොහෝ දෙනෙක් අත්විඳ ඇත්තෙමු. කෙසේ වෙතත් දෙවියන්වහන්සේගේ වචන “පවිත්‍රය” සම්පූර්ණ සහ යහපත්ය. දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අපගේ වටිනාකම හෝ අපගේ අරමුණු හෝ පිළිබඳව ආත්මය පොඩිකර දමන අදහස් පිළිගැනීමට අප පෙළඹෙන විට දෙවියන්වහන්සේගේ නොනැසී පවත්නා හා නොවරදින සත්‍යය අපගේ මනස හා හදවත් ආරක්‍ෂා කරනු ලබයි. “ස්වාමිනී, පුරාණයේ සිට තිබුණ ඔබගේ විනිශ්චයන් සිහිකොට සැනසීම ලබා ගතිමි” (ගීතාවලිය 119:52) යනුවෙන් ලියා ඇති ගීතිකාකරුගේ වචන අපට දෝංකාර දෙන්නේය.

සෘණාත්මක කථාවලට දේව වචනය ආදේශ කරමින් දෙවියන්වහන්සේ ගැනත්, අප ගැනත් සහ අන් අය ගැනත් අපි පිළිගෙන ඇති බොරු වලට එරෙහිව සටන් කරමු.