ඉන්දියාවේ මුම්බායි නගරයේ වීදිවල ජීවත් වන දරුවන් කිහිප දෙනෙකු දිරිගැන්වීමට උත්සාහ කරමින් රන්ජිට් ඔවුන්ගේ නම්වලින් ගීතයක් නිර්මාණය කළේය. සෑම නමක් සඳහාම අනන්‍යවූ තනුවක් ඉදිරිපත් කරමින්, ඔහු ඔවුන්ට තනුව ඉගැන්වූයේ, ඔවුන්ව හඳුන්වා ගනු ලබන නමට අදාළ ධනාත්මක මතකයක් ලබා දීමේ බලාපොරොත්තුවෙනි. ඔවුන්ගේ නම නිතිපතා ආදරයෙන් කතා කරනවා ඇසෙන්නේ නැති ළමයින් සඳහා, ඔහු ඔවුන්ට ගෞරවනීය තෑග්ගක් ලබා දුන්නේය.

බයිබලයේ ‘නම්‘ වැදගත් වන අතර, බොහෝ විට පුද්ගලයෙකුගේ චරිත ලක්ෂණ හෝ නව භූමිකාව එයින් පිළිබිඹු කරයි. නිදසුනක් වශයෙන්, ආබ්‍රම් සහ සාරයි දෙවියන්වහන්සේ සමඟ ප්‍රේමයේ ගිවිසුමක් ඇති කර ගත් විට උන්වහන්සේ ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන බවත් ඔවුන් උන්වහන්සේගේ සෙනඟ වන බවත් පොරොන්දු වෙමින් උන්වහන්සේ ඔවුන්ගේ නම් වෙනස් කළ සේක. “උසස් කළ පියා” යන අරුත ඇති ආබ්‍රම්, “බොහෝ දෙනෙකුගේ පියා” යන අරුත ඇති ආබ්‍රහම් බවට පත් විය. එසේම, “කුමරිය” යන අර්ථය ඇති සාරායි යන නම “බොහෝ අයගේ කුමරිය” යන අර්ථය ඇති “සාරා” බවට පත් විය (උත්පත්ති 17:5 සහ 15 බලන්න).

දෙවියන්වහන්සේගේ අලුත් නම්වලට ඔවුන් තවදුරටත් දරුවන් නොමැතිව නොසිටින්නේය යන කාරුණික පොරොන්දුවද ඇතුළත් විය. සාරා තම පුතු බිහි කළ විට, ඔවුන් අතිශයින් ප්‍රීති වී ඔහුට ඊසාක් යන නම තැබීය, එහි තේරුම “ඔහු සිනාසෙයි” යන්නයි: “දෙවියන්වහන්සේ මා සිනාසෙන්ට සැලැස්වූසේක; ඒ අසන සියල්ලන් මා සමඟ සිනාසෙනවා ඇත” කියාය (උත්පත්ති 21:6).

අපි මිනිසුන්ට ගෞරවය පෙන්වන්නේ අප විසින් ඔවුන්ව නමින් කථා කරන විට සහ දෙවියන්වහන්සේ ඔවුන්ව නිර්මාණය කළේ කවුරුන් වීමටද යන්න තහවුරු කරන විටදීය. දෙවියන්වහන්සේගේ ස්වරූපයට අනුව නිර්මාණය කරන ලද කෙනෙකුගේ අද්විතීය ගුණාංග තහවුරු කරන ආදරණීය වෙනත් නාමයකින්ද එය කළ හැකිය.