සැතපුමක් දුරින් පවා වුවද කරදරයක් තිබේ යයි මගේ මවට හැඟෙන්නාක් මෙන් පෙනේ. වරක්, පාසලේ අමාරු දවසකින් පසු, කිසිවෙකු නොදකිනු ඇතැයි බලාපොරොත්තුවෙන් මම මගේ කලකිරීම වසා ගැනීමට උත්සාහ කළෙමි. “කාරණය කුමක් ද?” ඇය ඇසුවාය. ඉන් පසුව ඇය තව දුරටත් කිව්වේ, “ප්‍රශ්නයක් නැහැයි කියලා මට කියන්න කලින්, මම ඔයාගේ අම්මා කියලා මතක තියාගන්න. මම ඔබව බිහි කළා, ඔබ ඔබ ගැන දන්නවාට වඩා මම ඔබව හොඳින් දනිමි.” කියා ඇය කීවාය. මා කවුද යන්න පිළිබඳ ඇගේ ගැඹුරු අවබෝධය නිසා, මට ඇයව වඩාත්ම අවශ්‍ය මොහොතේදී මා වෙනුවෙන් සිටිමින් උපකාර වන බව මගේ අම්මා නිරන්තරයෙන් මට මතක් කර දී ඇත.

යේසුස්වහන්සේව විශ්වාස කරන්නන් වශයෙන්, අපව ඉතා සමීපව හඳුනන දෙවි කෙනෙකු විසින් අපව රැකබලා ගනු ලැබේ. උන්වහන්සේගේ දරුවන්ගේ ජීවිත ගැන උන්වහන්සේගේ අවධානය ගැන උන්වහන්සේට ප්‍රශංසා කරමින් ගීතිකාකරු දාවිත් මෙසේ පැවසුවේය: “ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක. ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි” (ගීතාවලිය 139:1-2). මක්නිසාද දෙවියන්වහන්සේ අප කවුරුදැයි දන්නා බැවින් – එනම්, අපගේ සෑම සිතුවිල්ලක්ම, ආශාවක් සහ ක්‍රියාවක්ම දන්නා බැවින් – උන්වහන්සේගේ මහත් ප්‍රේමයේ සහ සැලකිල්ලේ සීමාවෙන් පිටත අපට යා හැකි තැනක් කොතැනකවත් නැත (7 – 12 පද). දාවිත් ලියා ඇති පරිදි, “මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්; එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය” (9-10 පද). අප ජීවිතයේ කොතැනක සිටියත්, අප යාච්ඤාවෙන් දෙවියන්වහන්සේට ආයාචනා කරන විට, උන්වහන්සේ අපට අවශ්‍ය ප්‍රේමය, ප්‍රඥාව සහ මඟ පෙන්වීම ලබා දෙන බව දැන සිටීමෙන් අපට සැනසීමක් ලබාගත හැකිය.