1859 දී ජොෂුවා ඒබ්‍රෑහැම් නෝර්ටන් තමා එක්සත් ජනපදයේ අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශ කළේය. නෝර්ටන් සැන් ෆ්රැන්සිස්කෝ නැව් ගමනාගමනයේදී ඔහුගේ ධනය උපයා ගත් අතර ඒ සියල්ල අහිමි කර ගත් නමුත් ඔහුට නව අනන්‍යතාවයක් අවශ්‍ය විය: ඒ ඇමරිකාවේ පළමු අධිරාජ්‍යයා හැටියටය. සැන් ෆ්රැන්සිස්කෝ ඊව්නින් බුලටින් නැමැති පුවත්පත විසින් “අධිරාජයා” ලෙසට නෝර්ටන්ගේ නිවේදනය මුද්‍රණය කළ විට, බොහෝ පාඨකයෝ සිනහසුණහ. නෝර්ටන් සමාජයේ වැරදි නිවැරදි කිරීම අරමුණු කරගත් ප්‍රකාශයන් කළේය, ඔහුගේම මුදල් මුද්‍රණය කළේය. එසේම වික්ටෝරියා රැජිනට ඔහු සමඟ විවාහ වී ඔවුන්ගේ රාජධානි ඒකාබද්ධ කරන ලෙස ඉල්ලා ලිපි පවා ලිවීය. ඔහු දේශීය මැහුම්කරුවන් විසින් නිර්මාණය කරන ලද රාජකීය හමුදා නිල ඇඳුම් ඇඳ සිටියේය. එක් නිරීක්ෂකයෙක් පැවසුවේ නෝර්ටන්ගේ “සෑම අඟලක්ම රජෙකු” ලෙස පෙනෙන බවයි. නමුත් ඇත්ත වශයෙන්ම, ඔහු එසේ නොවීය. අපට අපව සිතින් මවාගත්තත් එසේ වන්නේ නැත.

අපගෙන් බොහෝ දෙනෙක් වසර ගණනාවක් ගත කරන්නේ අප කවුරුන්ද යන්න සෙවීමට සහ අපට ඇති වටිනාකම කුමක්දැයි කල්පනා කිරීමටය. දෙවියන්වහන්සේට පමණක් අප කවුරුන්ද යන්න පිළිබඳ සත්‍යය අපට පැවසිය හැකි විට, අපි අපවම නම් කිරීමට හෝ නිර්වචනය කිරීමට උත්සාහ කරමින් අසමත් වන්නෙමු. තවද, අප ස්තුතිවන්ත විය යුත්තේ උන්වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස්වහන්සේ තුළ අපට ගැළවීම ලැබෙන විට උන්වහන්සේ අපව උන්වහන්සේගේ දූ පුතුන් ලෙස හඳුන්වන හෙයිනි. “නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද ……… ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන් සේක” (යොහන් 1:12) කියා යොහන් ලියයි. තවද මෙම අනන්‍යතාවය සත්‍යයෙන්ම තෑග්ගකි. අපි උන්වහන්සේගේ ප්‍රේමණීයයන්ය. ඒ අපි “ලෙයෙන්වත් මාංසයේ කැමැත්තෙන්වත් මනුෂ්‍යාගේ කැමැත්තෙන්වත් නොව දෙවියන්වහන්සේගෙන් උපන්නෝ” වන නිසාය (13 පදය).

දෙවියන්වහන්සේ අපට ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ නම සහ අපගේ අනන්‍යතාවය ලබා දෙන සේක. අපිම උත්සාහ කිරීම සහ අපව අන් අය සමඟ සංසන්දනය කිරීම නැවැත්විය යුතුය. මන්ද අප කවුදැයි උන්වහන්සේ අපට පවසන බැවිනි.