සුප‍්‍රසිද්ධ ඇමරිකානු කාන්තාවන්ගේ සිතුවම් නම් පොතෙහි රොබර්ට් හෙන්කිස් ලියන්නේ “සිතුවමක් යනු ඡායාරූපයක් නොවේ. එසේම එය අනුරුවක්ද නොවේ” කියාය. සිතුවම පිටස්තර පෙනීමෙන් ඇතුලට ගොස් මනුෂ්‍ය ආධ්‍යාත්මයේ භාවමය ගැඹුර සොයන්නේය. සිතුවමෙන් සැබෑ කලාකරුවා “පුද්ගලයා සැබැවින්ම කව්ද යන්න” පෙන්වීමට උත්සාහ කරයි.

සියවස් ගණනාවක් පුරා යේසුස්වහන්සේගේ බොහෝ චිත‍්‍ර ඇඳ තිබේ. ඔබ ඒවා සභාවක හෝ කලාගාරයක දැක ඇත. සමහර විට ඉන් එකක් ඔබගේ නිවසේ තිබෙනවා විය හැක. එහෙත් එ් එකක්වත් සැබෑ සිතුවමක් නොවේ. ඊට හේතුව අපට ස්වාමීන්වහන්සේගේ ශරීරයේ පෙනුම බලා ගැනීමට ඡායාරූපයක් හෝ අනුරුවක් නොතිබීමය. කෙසේ වෙතත් යෙසායා 53හි උන්වහන්සේ පිළිබඳ අනර්ඝ වාග් චිත‍්‍රයක් තිබේ. මේ දේවානුභාවයෙන් ලියන ලද විස්තරය උන්වහන්සේ කව්ද යන්න අනගි ලෙස පැහැදිලි කරයි. “සැබැවින්ම උන්වහන්සේ උසුලාගත්තේ අපේ දුක්ය. දරාගත්තේ අපේ ශෝකය… නුමුත් උන්වහන්සේ තුවාල ලැබුවේ අපේ අපාරධ නිසාය. පොඩිකරනු ලැබුවේ අපේ අයුතුකම් නිසාය… උන්වහන්සේගේ පහරවලින් අපට සුවය ලැබී තිබේ” (4-5 පද).

මෙම ඡේදය යේසුස්වහන්සේගේ මුහුණෙහි පේ‍්‍රමය, දුක, වේදනාව සහ විඩාව දැකීමට අපට හැකියාව දෙයි. එහෙත් උන්වහන්සේගේ තොල් චෝදනා කරන්නේ හෝ හෙළා දකින්නේ නැත. දුක්වීමට උන්වහන්සේගේම පාප නැත. දරාගැනීමට තිබුණේ අපේ පාප පමණි. උන්වහන්සේ “තමන් ආත්ම වේදනාවේ ඵල දැක තෘප්තියට පැමිණෙන” බව අභ්‍යන්තරයෙන් දන්නාසේක (1 පදය).

මෙය ගැළවුම්කරුවාණන්ගේ කෙතරම් අනගි සිතුවමක්ද.