වසර ගණනාවකට පෙර මා සමඟ ගිය මිතුරෙකු දුටුවේ මා දුර තිබෙන දේවල් දැකීමට වීර්යයක් ගන්නා බවය. ඊළඟට ඔහු කළ දේ සරළය. එහෙත් ජීවිතය වෙනස් කරන සුළු විය. ඔහු තම උපැස් යුවළ ගළවා “මේක දාලා බලන්න” යයි කීවේය. මම එම උපැස් යුවළ දැමූ විට පුදුමයකි! මාගේ බොඳවූ දර්ශනය පැහැදිලි විය. පසුව මම දෘෂ්ඨි විශේෂඥයෙකු වෙත ගියෙමි. ඔහු දර්ශනය පැහැදිළි වන උපැස් යුවළක් මට නිර්දේශ කළේය.

අද ලූක් 18 හි අප කියවන්නේ කිසිසේත් ඇස් නොපෙණුනු අයෙකු ගැනය. ඔහු දැන සිටියේ පූර්ණ අන්ධකාරයයි. ජීවත්වීම පිණිස සිඟමන් ඉල්ලීමට ඔහුට සිදුවී තිබුණි. ජනප‍්‍රිය ගුරු සහ හාස්කම් කරන යේසුස්වහන්සේ ගැන අන්ධ යාචකයාගේ කණට ඇසී තිබුණි. ඒහෙයින් අන්ධ මිනිසා සිටි ස්ථානය අසළින් යේසුස්වහන්සේට යන්නට සිදුවූ විට බලාපොරොත්තුව ඔහුගේ හදවතේ දැල්විණ. “යේසුස්වහන්ස, දාවිත්ගේ පුත‍්‍රය, මට කරුණා කළ මැනව” (38 පදය) කියා ඔහු මොර ගැසීය. භෞතික පෙනීම නොතිබුණද යේසුස්වහන්සේගේ සත්‍ය අනන්‍යතාවය ගැන ආත්මික අවබෝධයක්ද ඔහුගේ අවශ්‍යතාවය සපුරණ බවට ඇදහිල්ලක්ද ඔහු තුළ විය. ඒ ඇදහිල්ලෙන් පොළඹවනු ලැබ ඔහු “යේසුස්වහන්ස, දාවිත්ගේ පුත‍්‍රය, මට කරුණා කළ මැනව” (39 පදය) කියා වඩ වඩා මොර ගැසීය. ප‍්‍රතිඵලය? ඔහුගේ අන්ධභාවය නැතිවී ගියේය. සිඟමන් යැදීමේ සිට දෙවියන්වහන්සේට ආශිර්වාද කිරීම දක්වා ඔහු ගියේය. ඒ ඔහුට දැන් පෙනෙන නිසාය (43 පදය).

අන්ධකාර මොහොතකදී හෝ කාලවලදී ඔබ හැරෙන්නේ කොහාටද? ඔබ මොරගසන්නේ කුමකටද? කාටද? ඇස් කණ්නාඩි නිර්දේශය පෙනීම වැඩි කරයි. නමුත් සෙනඟ ආත්මික අන්ධකාරයෙන් ආලෝකයට පැමිණෙන්නේ දෙවියන්වහන්සේගේ පුත‍්‍රයාණන් වන යේසුස්වහන්සේගේ ස්පර්ශයෙනි.