කුඩා කාලයේ ඇයගේ දෙමාපියන් දික්කසාද වූ විට භෞතික ප්‍රශ්න සහ අනිකුත් කාරණා නිසා සූව අනාථ නිවාසයකට යැවුණි. එහිදී ලොකු ළමයින්ගේ හිංසාවන්ට ලක්වූ නිසා ඇය සිතා සිටියේ තමාව අත්හැර ඇති බවත් තමා තනිවී සිටින බවත්ය. මව පැමිණියේ මසකට වරකි. පියාව ඇය දුටුවේම නැති තරම්ය. නිවාසයේ නීති නිසා මසකට වරකට වඩා පැමිණීමට නොහැකිවූ බවත් සැම දිනකම ඇයගේ ඡායාවක් හෝ දකින පිණිස ඇය වැට අසළ සිටි බවත් මව සූට කීවේ වසර ගණනාවකට පසුවය. “සමහර විට ඔයා පිට්ටනියේ සෙල්ලම් කරනවා මම බලන් ඉන්නවා. ඔයා සනීපෙන්ද කියලා බලන්න” මව කීවාය.

සූ එම කථාව කියන විට දෙවියන්වහන්සේගේ ප්‍රේමෙන් බිඳක් මට වැටහිණි. අපගේ අරගල වලදී තනිවී ඇතැයි අපට සිතෙන වාර ඇත. දෙවියන්වහන්සේ සෑම විටම අප දෙස බලා සිටින බව අප දැන සිටීම කෙතරම් භාග්‍යයක්ද! (ගීතාවලිය 33:18). අපට උන්වහන්සේ නොපෙණුනද උන්වහන්සේ එහි සිටින සේක. උන්වහන්සේ ප්‍රේමණිය මාපියෙකු වැනිය. අප යන කුමන ස්ථානයක වුවද උන්වහන්සේගේ ඇස් සහ හදවත තිබේ. සූගේ මව මෙන් නොව ඕනෑම විටෙක අප වෙනුවෙන් ක්‍රියාත්මක වීමටද උන්වහන්සේට පුළුවන.

දෙවියන්වහන්සේ තම දරුවන් ඔසවන, ආරක්‍ෂා කරන, මුදවන බව ගීතාවලිය 91 විස්තර කරයි. උන්වහන්සේ ආරක්‍ෂා ස්ථානයක් සහ නිවහනක් පමණක් නොවේ. අප ජීවිතයේ ගැඹුරු මිටියාවත් වලින් යන විට සියලු බලැති ස්වාමින්වහන්සේ අප දෙස බලන බවත් අප ජීවිත තුළ ක්‍රියාත්මකවන බවත් දැන අපට සහනයක් ලබා ගත හැකිය. “මමද උත්තරදෙන්නෙමි; දුකේදී ඔහු සමඟ සිටින්නෙමි. ඔහු මුදා ගෞරවයට පමුණුවන්නෙමි.” (15 පදය) යයි උන්වහන්සේ ප්‍රකාශ කරන සේක.