1892 හි එල්ලීස් දුපත හරහා එක්සත් ජනපදයට ගිය පළමු සංක්‍රමණිකයා ලෙසට ඇනී මුවර්ට විශාල සතුටක් දැනෙන්න ඇති. ඇය අලුත් නිවසක්ද නැවුම් ආරම්භයක්ද සිතෙහි මවා ගන්න ඇති. ඉන්පසු මිලියන ගණනක් එම මාර්ගය පසු කළෝය. යෞවනියක ලෙස ඇනී අලුත් ජීවිතයක් සොයා අයර්ලන්තයේ අසීරු ජීවිතය හැර දමා මෙහි ආවාය. ඇය ගෙන ආවේ කුඩා අත්බැගයක්ද, සිහින, බලාපොරොත්තු සහ අවස්ථාවන් බහුල දේශයක්ද ගැන සිතුවිලිද පමණි.

“අලුත් අහසක් සහ අලුත් පොළොවක්” දුටු විට (එළිදරව් 21:1) දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස අපට කෙතරම් විශ්මයක් සහ ජ්වලිතයක් ලැබෙනු ඇද්ද? එළිදරව් පොතෙහි නම් කර ඇති නව යෙරුසලම නැතිනම් “ශුද්ධවූ නගරයට” අපි ඇතුල් වන්නෙමු (2 පදය). අපෝස්තලු යොහන් මෙම විශ්මිත ස්ථානය විස්තර කරන්නේ බලවත් සංකල්ප රූප සමගය. එහි “දෙවියන්වහන්සේගේද බැටළුපැටවාණන්ගේද සිංහාසනයෙන් නික්මෙන පළිඟු මෙන් දීප්තිමත්වූ ජීවනදායක වතුර ඇති ගංගාවක්” තිබේ (එළිදරව් 22:1). ජලය පෙන්නුම් කරන්නේ ජීවනය සහ බහුලත්වයයි. එහි මූලාශ්‍රය සදාකාලික දෙවියන්වහන්සේය. යොහන්ට අනුව එහි “කිසි ශාපයක් නොවන්නේය” (3 පදය). උන්වහන්සේ සහ මනුෂ්‍යයන් අතර ඇති අලංකාර පවිත්‍ර සම්බන්ධතාවය සම්පූර්ණයෙන් ප්‍රතිෂ්ඨාපනය වන්නේය.

තම දරුවන්ට ප්‍රේම කරන උන්වහන්සේගේ පුත්‍රයාගේ ජීවිතයෙන් අප මිළදීගත් දෙවියන්වහන්සේ අපට එවැනි පුදුමාකාර ස්ථානයක් පිළියෙල කිරීම කෙතරම් විශ්මිතද? එහිදී උන්වහන්සේ අප සමග ජීවත් වෙමින් අපගේ දෙවියන්වහන්සේද වන සේක.