ආපණ ශාලාව පියකරුය. නමුත් අඳුරු විය. සැම මේසයකම තිබුණේ එක් ඉටිපහනක් පමණී. කෑම වට්ටෝරු කියවීමටද මේසයේ වාඩිවී ඉන්න අය දෙස බැලීමටද කන්නේ කුමක්දැයි බැලීමටද සෙනග තම ජංගම දුරකථන වල එළිය භාවිතා කළහ. අවසානයේ එක් පාරිභෝගිකයෙකු නැගී සිටියේය. වේටර් කෙනෙකු වෙත ගොස් පහසු ප්‍රශ්නයක් ඇසුවේය. “ලයිට් දානවාද?”. වැඩි වේලාවක් යාමට පෙර සීලිමේ බල්බයක් දැල්වුණි. ශාලාවේ සිටි අය අත්පුඩි ගැසුවෝය. සිනහව සහ ප්‍රීතිමත් කථාව වැඩි විය. ස්තුති කිරීම්ද ඇසුණි. මාගේ මිතුරියගේ ස්වාමි පුරුෂයා ජංගම දුරකථනයේ එළිය නිවා දමා “එළිය වේවා! දැන් කෑම කමු!” යයි කීවේය.

අපගේ අපූරු සන්ධ්‍යාව ස්විචයක් දැමීමෙන් මංගල්‍යයක් බවට පත් විය. සත්‍ය ආලෝකයේ මූලාශ්‍රය දැන ගැනීම ඊට වඩා කෙතරම් වැදගත්ද? දෙවියන්වහන්සේ එම විශ්මය ජනක වදන් පැවසූ සේක. උන්වහන්සේ විශ්වය මැවූ ප්‍රථම දිනයේම “එළිය වේවා” යි කී සේක. “එළිය විය” (උත්පත්ති 1:3). “උන්වහන්සේ ආලෝකය යහපත් බව දුටු සේක” (4 පදය).

ආලෝකය පෙන්නුම් කරන්නේ දෙවියන්වහන්සේ තුළ අපට ඇති ශ්‍රේෂ්ඨ ප්‍රේමයයි. උන්වහන්සේගේ ආලෝකය පාපය නැමැති අඳුරෙන් අපට මග පෙන්වන “ලෝකයේ ආලෝකය” වන යේසුස්වහන්සේ වෙත යොමු කරයි. පුත්‍රයාණන් මහිමවත් කරන ජීවිතයේ ආලෝකමත් මංපෙත අපට හමුවේ. ලෝකයේ දීප්තිමත්ම ත්‍යාගය උන්වහන්සේය. උන්වහන්සේ බැබළෙන කල අපි උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරමු.