මාගේ ස්වාමිපුරුෂයා ඇඳෙන් බැස කුස්සියට යන විට එළිය වැටී නොතිබුණි. විදුලි බල්බය නිවෙනවා පත්තුවෙනවා මම දුටුවෙමි. ඔහු කුමක් කරනවාදැයි මම කල්පනා කළෙමි. පෙරදින උදයේ මම අපගේ මුළුතැන්ගෙයි මේසය මත සිටි “බලෙන් ඇතුල්වන්නෙකු” නිසා මොර ගැසූ බව මට මතක් විය. ඒ මා අකමැති පාද හයේ සත්ත්වයෙකි. මාගේ ස්වාමිපුරුෂයා මාගේ භිය දන්න නිසා ඔහුව ඉවත් කිරීම සඳහා වහා පැමිණියේය. බියෙන් තොරව මට මුළුතැන්ගෙට යාමට හැකි වන පරිදි උදෑසනම අපගේ මුළුතැන්ගෙය කෘමීන්ගෙන් තොර තැනක් කිරීමට ඔහු වෙහෙස විය. කෙතරම් හොඳ මනුෂ්‍යයෙක්ද!

මාගේ ස්වාමිපුරුෂයා නැගිට ඇත්තේ ඔහුගේ අවශ්‍යතාවයට පෙර මාගේ අවශ්‍යතාවය ඉදිරියෙහි තබා ගෙන මා ගැන සිතේ තබාගෙනය. ඔහුගේ ක්‍රියාව මට මතක් කරන්නේ එපීස 5:25 හි පාවුල් විස්තර කරන ප්‍රේමයයි. “පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේම කොට ඈ උදෙසා තමන්ව පාවා දුන්නාක් මෙන්ම නුඹලාත් නුඹලාගේ භාර්යයාවන්ට ප්‍රේම කරන්න” (එපීස 5:25). පාවුල් තවදුරටත් කියන්නේ “එසේම පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්යයාවන්ට තමුන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කටයුතුය. තමාගේ භාර්යයාවට ප්‍රේම කරන තැනැත්තේ තමාට ප්‍රේම කරන්නේය” (28 පදය). පුරුෂයාගේ ප්‍රේමය ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමයට සමාන කිරීම මගින් පාවුල් ඉස්මතු කරන්නේ යේසුස්වහන්සේ තම අවශ්‍යතාවයන්ට පෙර අපගේ අවශ්‍යතා ඉදිරියට දැම්මේය යන්නයි. සමහර බලෙන් ඇතුල්වන්නන්ට මා භය බව මාගේ ස්වාමිපුරුෂයා දන්නා නිසා ඔහු මාගේ අවශ්‍යතාවයට ප්‍රමුඛස්ථානය දුන්නේය.

මෙම ප්‍රතිපත්ති අදාළ වන්නේ පුරුෂයන්ට පමණක් නොවේ. යේසුස්වහන්සේගේ ආදර්ශයෙන් පසු ආතතිය, බිය, ලැජ්ජාව හෝ කණස්සල්ල වැනි බලෙන් කරදර කරන්නෙකු ඉවත් කිරීමට කාට හෝ ප්‍රේමයෙන් උපකාර කිරීමට අපට හැකිය. ඒ මේ ලෝකයේ නිදහසේ ගමන් කිරීමට ඔවුන්ට හැකි වනු පිණිසය.