මම සාප්පු සංකීර්ණයේ භෝජනාගාරයේ වාඩිවී සිටිමි. මගේ ශරීරය නොසන්සුන්ය. වැඩ අවසන් කළ යුතු දින පිළිබඳව කල්පනා කරන විට මගේ බඩ කැලතෙන්නට පටන් ගනී. මම මගේ කෑම පාර්සලය ලිහා කුඩා කැබැල්ලක් කන විටදී මිනිසුන් මා වටා ඇවිදිමින් ඔවුන්ගේ කාර්්‍යයන් ගැන කලබල වෙනවා මම දුටුවෙමි. අප සියල්ලන්ම කෙතරම් සීමිතද. කාලය, ශක්තිය සහ ධාරිතාව කෙතරම් සීමිතද කියා මම සිතුවෙමි.

කළ යුතු කාර්්‍යයන් ගැන නව ලැයිස්තුවක් ලිවීම සහ හදිසි කාර්්‍යයන් සඳහා ප්‍රමූඛතාවය දීම මම සැළකුවෙමි. නමුත් මම පෑනක් ගන්නා විට තවත් සිතුවිල්ලක් මගේ මනසට ඇතුල් වේ. එනම් අපරිමිත වූ අසීමිත වූ තමන් කැමති සියල්ල කිසිම උත්සාහයකින් තොරව ඉටු කරන්නාවු තැනැත්තෙක් ගැන සිතුවිල්ලකි.

මෙම දෙවියන්වහන්සේ ගැන අනාගතවක්තෘ යෙසායා පවසන්නේ උන්වහන්සේට තමන්වහන්සේගේ දැතින් සාගර මැණිය හැකි බවත් පොළොවේ දූවිලි කූඩයකට එකතු කර ගත හැකි බවත්ය (යෙසායා 40:12). උන්වහන්සේ අහසේ තාරකා නම් කර ඔවුන්ගේ මාවත් මෙහෙයවන සේක (26 පදය). ලෝකයේ පාලකයින්ව දන්නා අතර ඔවුන්ගේ වෘත්තීන් අධීක්‍ෂණය කරන සේක (23 පදය). දූපත් හුදෙක් දූවිලි පැල්ලම් ලෙස සළකන අතර දේශයන් මුහුදේ ජල බින්දු මෙන් සළකන සේක (15 පදය). “ඉතින් නුඹලා මා කාට සමාන කරනවාද?” කියා උන්වහන්සේ අසන සේක. “ස්වාමින්වහන්සේ වන සදාකාල දෙවියන්වහන්සේ ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද?” කියා අනාගතවක්තෘ යෙසායා පිළිතුරු දෙයි.

ආතතිය හා අධික වෙහෙසට පත්වීම අපට කිසි විටෙකත් යහපත් නොවේ. නමුත් මේ දිනයේ මෙම කාරණා දෙක තුළින් අපට ප්‍රබල පාඩමක් උගන්වයි. අසීමිත දෙවියන්වහන්සේ මා මෙන් නොවේ. උන්වහන්සේ කැමති සැම දෙයක්ම උන්වහන්සේ ඉටු කර ගන්නා සේක. මම මගේ කෑමෙන් පසුව නැවත වරක් විවේක ගනිමින් නිහඬව නමස්කාර කළෙමි.