මගේ දුව හේලී මා බැලීමට පැමිණි විට ඇගේ තුන් හැවිරිදි පුතා වන කැලම් අමුතු ඇඳුමක් ඇඳ සිටිනවා මම දුටුවෙමි. ඒ “ස්ක්‍රැච්මීනොට්” (මාව කසන්න එපා) කියා දැක්වෙන අත් දිගු කමිසයකි. එහි අත් දෙකට මිට්න්ස් හෙවත් බොක්සිං ක්‍රීඩා අත්වැසුම් දෙකක් සවිකර තිබුණි. මගේ මුණුපුරා වන කැලම් නිදන්ගත සමේ රෝගයකින් පෙළෙන අතර කැසීම නිසා ඔහුගේ සම රළු වී තුවාලද ඇති කරයි. මෙම කමිසය කැලම්ගේ සම කැසීමෙන් හා තුවාල වීමෙන් වළක්වන බව හේලී පැහැදිළි කළාය.

මාස හතකට පසු හේලිටත් සමේ රෝගය වැළඳුණි. ඇයටද කැසීම නතර කළ නොහැකි විය. “කැලම් විඳින දේ දැන් මට තේරෙනවා” හේලි මට කීවාය. “සමහර විට මමත් ස්ක්‍රැච්මීනොට් කමිසයක් පැළඳිය යුතුයි”.

හේලිගේ තත්වය මට මතක් කර දුන්නේ 2 කොරින්ති 1:3-5 දක්වා අපෝස්තලු පාවුල් පවසන පරිදි “අපි අපගේ දෙවියන්වහන්සේගෙන් යම් සැනසිල්ලක් ලැබුවෙම්ද ඒ සැනසිල්ල කරණකොට ගෙන කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට අපට පුලුවන් වන පිණිස උන්වහන්සේ අපේ සියලු පීඩා වලදී අපි සනසන සේක. මක්නිසාද යම්සේ ක්‍රිස්තුස්වහන්සේගේ දුක් විඳීම් අප කෙරෙහි අධික වන්නේද එසේම ක්‍රිස්තුස්වහන්සේ කරණකොට ගෙන අපගේ සැනසිල්ලත් අධික වන්නේය”.

සමහර විට අසනීපක් අලාභයක් හෝ අර්බූදයක් වැනි දුෂ්කර කාල අපගේ ජීවිතයේ සිදුවන්න දෙවියන් වහන්සේ ඉඩ හරින සේක. ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා කුරුසියේ කළ විශාලතම දුක් වේදනා අගය කිරීමට අපගේ දුක් වේදනා තුළින් උන්වහන්සේ අපට උගන්වයි. එසේම සැනසිල්ල හා ශක්තිය සඳහා අප උන්වහන්සේ මත රැඳෙන විට අන් අයගේ දුක් වේදනා වලදී ඔවුන්ව සැනසීමට සහ ධෛර්ය්‍යමත් කිරීමට අපට හැකිය. දෙවියන්වහන්සේ අපව ගෙන ආ දේ තුළින් අපට සැනසිල්ල ලබා දිය හැක්කේ කාටදැයි සිතා බලමු.