සමකාලීන ලන්දේසි චිත්‍ර ශිල්පී එග්බර්ඞ් මොඩර්මන්ගේ චිත්‍රයක් වූ “කිරේනියේ සීමොන්” නම් වූ චිත්‍රයෙන් අඳුරු ඇස් එබී බලයි. සීමොන්ගේ ඇස් ඔහුගේ වගකීමේ දැවැන්ත ශාරීරික හා චිත්තවේගී බර හෙළි කරයි. මාර්ක් 15 හි බයිබලීය වාර්තාවේ අපි දැනගන්නේ බලා සිටි සමූහයා අතරින් සීමොන්ව ඇද ගෙන ගොස් යේසුස් වහන්සේගේ කුරුසිය උසුලාගෙන යාමට බල කළ බවයි.

මාර්ක් අපට පවසන්නේ සීමොන් පැමිණියේ යේසුස්වහන්සේගේ කාලයේ විශාල යුදෙව් ජනගහණයක් සිටි උතුරු අප්‍රිකාවේ විශාල නගරයක් වන කිරේනියෙන් බවයි. බොහෝ දුරට සීමොන් පාස්කු උත්සවය සැමරීමට යෙරුසලමට ගොස් තිබෙන්න ඇති. එහිදී ඔහු මෙම අසාධාරණ මරණ දණ්ඩනය මැද සිටිය නමුත් කුඩා වූවත් අර්ථවත් ක්‍රියාවකින් යේසුස්වහන්සේට උපකාර කිරීමට ඔහුට හැකි වුනි (මාර්ක් 15:21).

මීට පෙර මාර්ක්ගේ ශුභාරංචියේ ලියා තිබෙන පරිදි යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට කියා සිටියේ
“කවරෙක් නමුත් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාගේ කැමැත්ත අත් හැර තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා” (මාර්ක් 8:34) යනුවෙනි. ගොල්ගොතා යන මාර්ගයෙහිදී සීමොන් ඇත්ත වශයෙන්ම කළේ යේසුස් වහන්සේ තම ගෝලයන්ගෙන් ඉල්ලා සිටි දේ සංකේතාත්මකව දැක්වීමයි. ඔහු තමාට දුන් කුරුසිය ගෙන යේසුස්වහන්සේ උදෙසා එය රැගෙන ගියේය.

අපටත් දරා ගැනීමට “කුරුස” තිබේ. සමහර විට ඒ අසනීපයක්, දේව සේවයේ අභියෝගාත්මක පැවරුමක්, ආදරය කරන කෙනෙකුගේ වියෝවක් හෝ අපගේ ඇදහිල්ල වෙනුවෙන් වූ පීඩාවක් විය හැකිය. අපි ඇදහිල්ලෙන් මෙම දුක් පීඩා විඳින කල යේසුස්වහන්සේගේ දුක් වේදනා සහ උන්වහන්සේගේ කුරුසියේ පූජාව අපි ජනතාවට පෙන්වා දෙන්නෙමු. දෙවියන්වහන්සේ සමග සමාදානය සහ අපගේ ගමන සඳහා ශක්තිය ලබා දුන්නේ උන්වහන්සේගේ කුරුසියයි.