හයවන ශ්‍රේණියේ පැසිපන්දු තරඟය හොඳින් ක්‍රියාත්මක වී තිබුණි. දෙමාපියන් සහ ආච්චිලා සීයලා ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඔල්වරසන් දෙමින් සිටි අතර කණ්ඩායම්වල සිටි ක්‍රීඩකයන්ගේ බාල සහෝදර සහෝදරියන් පාසල් ශාලාවේ විනෝද වූහ. එක් වරම අණතුරු සංඥා නළා නාද වූ අතර, ව්‍යායාම් ශාලාවේ විදුලි පහන් ක්ෂණිකව දීප්තිමත් විය. ගිනිගන්නා බව දක්වන සංඥාවක් ක්‍රියාත්මක කර තිබුණි. වැඩි වේලාවක් යන්නට මත්තෙන් බාල සහෝදර සහෝදරියන් භීතියෙන් යුතුව තම දෙමාපියන් සොයමින් ව්‍යායාම් ශාලාවට පැමිණියහ.

ගින්නක් නොතිබුණි; සංඥාව අතපසුවීමකින් ක්‍රියාත්මක වී තිබුණි. එහෙත් මා බලාගෙන සිටිද්දී, අනතුරක් බව දැනුණ ළමයි ලැජ්ජාවකින් තොරව දුවගෙන පැමිණ තම දෙමාපියන්ව වැළඳ ගත් ආකාරය මාගේ සිත් ගත්තේය. බියෙන් සිටින කාලයක ආරක්ෂාව සහ සැක නැති කර යහපත් හැඟීමක් ලබා දිය හැකි අය කෙරෙහි මොනතරම් විශ්වාසයක් ඇති කරවන චිත්‍රයක්ද!

දාවිත් මහත් භීතියක් අත්විඳි කාලයක් දේව වචනය ඉදිරිපත් කරයි. සාවුල් සහ තවත් බොහෝ සතුරන් (2 සාමුවෙල් 22:1) ඔහු පසුපස හඹා ගියහ. දෙවියන්වහන්සේ දාවිත්ට රැකවරණය දුන් පසු, ස්තුතිවන්තවූ දාවිත් දෙවියන්වහන්සේගේ උපකාරය ගැන ප්‍රශංසා ගීයක් ගායනා කළේය. ඔහු දෙවියන්වහන්සේව හැඳින්වූයේ “ස්වාමීන්වහන්සේ මාගේ පර්වතයය මාගේ බලකොටුවය, මාගේ, මාගේම මිදුම්කාරයාණෝය” ලෙසය (2 පදය). “ෂෙයොලේ බැමි මා අවටින් විය, මරණයේ මලපත් මා පිටට ආයේය”(6 පදය) ඔහුව ලුහුබැඳ ගිය විට, දාවිත් “දෙවියන්වහන්සේට මොරගැසූ” අතර ඔහුගේ “හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය” (7 පදය). අවසානයේදී, දාවිත් ප්‍රකාශ කළේ දෙවියන්වහන්සේ “මා මුදාගත් සේක” යනුවෙනි (18, 20, 49 පද)

බිය සහ අවිනිශ්චිත කාලවලදී, අපට “පර්වතය” වෙත දිව යා හැකිය (32 පදය). අප දෙවියන්වහන්සේගේ නාමයට ආයාචනා කරන විට, අපට අවශ්‍ය රැකවරණය සහ සෙවණ සැපයිය හැක්කේ උන්වහන්සේට පමණි (2-3 පද).