දේශනා නිදර්ශනයක කොටසක් ලෙස, මම, වේදිකාවේ කලාකාරියෙකු විසින් නිර්මාණය කරන ලද අලංකාර සිතුවම දෙසට ගොස් එහි මැදින් අඳුරු රේඛාවක් ඇන්දෙමි. සභාව භීතියට පත් විය. ඇය නිර්මාණය කළ දේ මා විකෘති කරනවා කලාකාරිය නිහඬව බලා සිටියාය. ඉන්පසුව, ඇය කාරුණිකව නව බුරුසුවක් තෝරා ගෙන, විනාශ වූ සිතුවම විශිෂ්ට කලා කෘතියක් බවට පත් කළාය.

ඇයගේ ප්‍රතිසංස්කරණ කටයුතු මට මතක් කර දෙන්නේ අපි අපගේ ජීවිතය අවුල් කර ගත් විට දෙවියන්වහන්සේට එය තුළ ඉටු කළ හැකි කාර්යයි. යෙසායා අනාගතවක්තෘ ඊශ්‍රායෙල් ජනයාගේ අධ්‍යාත්මික අන්ධභාවය සහ බිහිරි බව ගැන ඔවුන්ට තරවටු කළේය (යෙසායා 42:18-19), නමුත් පසුව ඔහු දෙවියන්වහන්සේගේ ගැළවීම සහ මිදීමේ බලාපොරොත්තුව මෙසේ ප්‍රකාශ කළේය: “භය නොවෙන්න, මක්නිසාද මම නුඹ මුදා ගතිමි” (43:1), උන්වහන්සේට අප වෙනුවෙන්ද එය කළ හැකිය. අප පව් කළ පසුව පවා, අප අපගේ පව් පාපොච්චාරණය කර දෙවියන්වහන්සේ වෙතට හැරෙන්නේ නම්, උන්වහන්සේ අපට සමාව දී නැවත යථා තත්ත්වයට පත් කරන සේක (5-7 පද; 1 යොහන් 1:9 බලන්න). අපට අවුලක් තුළින් අලංකාරයක් ගෙන ආ නොහැකි නමුත්, යේසුස්වහන්සේට එය කළ හැකිය. ශුභාරංචියේ සුබ පණිවුඩය වන්නේ උන්වහන්සේගේ රුධිරයෙන් අපව මුදාගත් බවයි. අවසානයේදී ක්‍රිස්තුස්වහන්සේ අපගේ කඳුළු වියළා, අපගේ අතීතයෙන් අපව මුදවා, සියල්ල අලුත් කරන බව එළිදරව් පොත අපට සහතික කරයි (එළිදරව් 21:4-5).

අපේ කතාව ගැන අපට ඇත්තේ සීමිත දැක්මකි. නමුත් ”නමින්” අපව හඳුනන දෙවියන්වහන්සේ (යෙසායා 43:1) අපගේ ජීවිතය අපට සිතාගත නොහැකි තරම් ලස්සන කරන සේක. යේසුස්වහන්සේ කෙරෙහි ඔබගේ ඇදහිල්ල නිසා ඔබ මිදී ඇත්නම්, ඉහත කථාවේ චිත්‍රය මෙන් ඔබේ කතාවට ද තේජාන්විත අවසානයක් තිබෙනු ඇත.