භෞතික විද්‍යාව” යන පොතේ චාර්ල්ස් රීබෝ මෑන් සහ ජෝර්ජ් රැන්සම් ට්විස් මෙසේ ප්‍රශ්නයක් අසයි: “පාළු වනාන්තරයක ගසක් කඩා වැටෙද්දී කිසිම සතෙකු ඒ අසල නොසිටියහොත්, එය ශබ්දයක් නිකුත් කරයිද?” වසර ගණනාවක් පුරා, ශබ්දය, හැඟීම සහ පැවැත්ම පිළිබඳ දාර්ශනික හා විද්‍යාත්මක සාකච්ඡා වලට මෙම ප්‍රශ්නය පෙළඹවීමක් කර ඇත. කෙසේ වෙතත්, නිශ්චිත පිළිතුරක් තවමත් මතු වී නැත.

එක් රාත්‍රියක, මම කිසිවෙකු සමඟ බෙදා නොගත් ගැටලුවක් ගැන තනිකමක් සහ දුකක් දැනීම අතරතුර, මම මෙම ප්‍රශ්නය සිහිපත් කළෙමි. උදව් සඳහා වූ මගේ මොරගැසීම කිසිවෙකුට නොඇසෙන විට, දෙවියන්වහන්සේට ඇසෙනවාද? යන්න ගැන මම සිතුවෙමි.

මරණ තර්ජනවලට මුහුණ දෙමින් සහ විපත්තිවලින් පිරී සිටි, 116 වන ගීතිකාවේ ලේඛකයාට තමාව අත්හැර දමා ඇති බවක් දැනෙන්නට ඇත. එබැවින් දෙවියන්වහන්සේ සවන් දෙන බවත් ඔහුට උපකාර කරන බවත් දැන සිටි ඔහු දෙවියන්වහන්සේට කන්නලව් කළේය. “මක්නිසාද උන්වහන්සේ මාගේ ශබ්දයද මාගේ කන්නලව්වද ඇසූසේක. උන්වහන්සේ මා දෙසට කන් නැමූ බැවින් …..” යැයි ගීතිකාකරු ලිවීය (1-2 පද). අපගේ වේදනාව කිසිවෙකු නොදන්නා විට, දෙවියන්වහන්සේ දන්නා සේක. අපේ මොරගැසීම කිසිවෙකුට නොඇසෙන විට, දෙවියන්වහන්සේට ඇසෙන සේක.

දෙවියන්වහන්සේ තමන්වහන්සේගේ ප්‍රේමය සහ ආරක්ෂාව අපට පෙන්වන බව දැන සිටීමෙන් (5-6 පද), දුෂ්කර කාලවලදී අපට විවේකයෙන් සිටිය හැකිය (7 පදය). “විවේකය” ලෙස පරිවර්තනය කර ඇති හෙබ්‍රෙව් වචනය, “මෙනොක්” , නිස්කලංක සහ ආරක්ෂිත ස්ථානයක් විස්තර කරයි. දෙවියන්වහන්සේගේ අභිමුඛය සහ උපකාරය පිළිබඳ සහතිකයෙන් අපට සමාදානයෙන්, ශක්තිමත්ව සිටිය හැක. මෑන් සහ ට්විස් විසින් අසන ලද ප්‍රශ්නය බොහෝ පිළිතුරු වලට තුඩු දුන්නේය. නමුත්, “දෙවියන්වහන්සේට ඇසෙනවාද?” යන ප්‍රශ්නයට පිළිතුර, සරලවම ඔව් යන්නයි.