ශීත සෘතුවේ එක් දවසක තම ජනෙල් වලින් මා දෙස බැලූ සෙනඟ මා කුමක් කරන්නේදැයි කල්පනා කරන්න ඇති. අපගේ නිවසට එන මං පෙතෙහි මම සවලක් දැඩිව අල්ලාගෙන සිටියෙමි. කාණුවක ඝනවී තිබූ හිම කුට්ටියකට කෝපයෙන් වියරුවී පහර දුනිමි. සෑම පහරකටම වරක් එකම තේමාවක විවිධ වෙනස් කිරීම් ඇතුව යාච්ඤාවෙන් මොරගැසීමි. “මට බැහැ… මේක කරන්න. මට හයිය නැහැ” මට කී දෙනෙක් බලා ගන්න තියෙනවාද? මට වැඩ කොච්චර තියෙනවාද? දැන් මේ අයිස් කුට්ටිය මම කඩන්න ඕනෙද? මට එපාවී තිබිණි.

මාගේ කෝපය බොරු ගොන්නක් වටා එතී තිබිණි. “මම මීට වඩා හොඳ දේවල් ලැබීමට සුදුසුයි.” “දෙවියන්වහන්සේ විතරක් මට මදි, කව්රුත් මාව ගණන් ගන්නේ නැහැ.” අප අපගේ කෝපයේ එල්ලී සිටින විට අපි තිත්තකමේ එරී යන්නෙමු. අපි කිසි විට ඉදිරියට නොයමු. කෝපයට ඇති එකම ප‍්‍රතිකර්මය සත්‍යය වේ.

සත්‍යය නම් අපට සුදුසු දඬුවම දෙවියන්වහන්සේ නොදෙන බවයි. එ් වෙනුවට උන්වහන්සේ අපට දයාව දෙනසේක. “ස්වාමිනී ඔබ යහපත්ය, කමාවෙන්ට සූදානම්සේක. ඔබට යාච්ඤා කරන සියල්ලන්ට ඔබ කරුණාවන්තය” (ගීතාවලිය 86:5). අපට කෙලෙස පෙනුනද සත්‍යය නම් දෙවියන්වහන්සේ අපට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා සෑහෙන බවය. එසේම උන්වහන්සේගේ ශක්තිය අපට ප‍්‍රමාණවත්ය (2 කොරින්ති 12:9). එහෙත් එවැනි සහතිකයක් ලැබීමට පෙර අප පසුපසට පැමිණ අපගේ උත්සාහයන් නැමති “සවල්” ඉවත්කොට අනුග‍්‍රහය සහ දයාවෙන් අපට දිගු කර ඇති යේසුස්වහන්සේගේ අත අප ගතයුතුවේ.

අපගේ කෝපයට ඇහුම්කන් දීමට තරම් දෙවියන්වහන්සේ විශාලය. එසේම උන්වහන්සේගේ කාලයේදී ඉදිරි මාර්ගය පෙන්වීමට තරම් උන්වහන්සේ පේ‍්‍රමණීයය.