චාරිත‍්‍රානුකූල අප‍්‍රිකානු සමාජ වල නව නායකයෙකු පත්කිරීම ඉතා බැරෑරුම් තීරණයකි. රජෙකු අභාවයට පත්වූ විට මීළඟ නායකයා තේරීමට විශාල ආයාසයක් ගනු ලැබේ. රාජකීය පවුලකට අයත් වීමට අමතරව අනුප‍්‍රාප්තිකයා ශක්තිමත්, නිර්භීත සහ ස්ථානෝචිත ප‍්‍රඥාව ඇති අයෙකු විය යුතුය. ඔවුන් සෙනඟට සේවය කරනවාද නැත්නම් එ්කාධිපතියෙකු වනවාද කියා තීරණය කිරීමට අපේක්ෂකයන්ගෙන් ප‍්‍රශ්න කෙරේ. රජුගේ අනුප‍්‍රාප්තිකයා පාලනය කරන්නෙකු පමණක් නොව සේවය කරන්නෙකුද විය යුතුය.

සාලමොන් වැරදි තීරණ ගත්තද ඔහු තමාගෙන් පසු පැමිණෙන්නා ගැන කණස්සලු විය. “ඔහු ප‍්‍රඥාවන්තයෙක්වේද අඥානයෙක්වේද කියා දන්නේ කවුද? එහෙත් ඉරයට මා වීර්යයෙන් ද ප‍්‍රඥාවෙන්ද කළාවූ මාගේ මුළු වැඩ කෙරෙහි ඔහු බලය පවත්වා ඇත” (දේශනාකාරයා 2:19). ඔහුගේ පුත් රෙහොබෝවම් එ් පුද්ගලයා විය. ඔහු යහපත් තීරණ ගැනීමේ හැකියාවක් ප‍්‍රදර්ශනය නොකළ අතර අවසානයේ ඔහුගේ පියා බියවූ දේම කළේය.

සෙනඟ වැඩ කරන පරිසරය යහපත් කරන ලෙස ඉල්ලා සිටි විට සේවක නායකත්වයක් පෙන්වීමට ඔහුට එය හොඳ අවස්ථාවක් විය. “ඔබ අද මේ සෙනඟට සේවකයෙක්වී ඔවුන්ට සේවය කොට… උත්තර දෙන්නෙහි නම්, ඔවුන් සැම කල්ම ඔබගේ සේවකයන් වෙනවා ඇතැ”යි වැඩිමහල්ලෝ ඔහුට උපදෙස් දුන්නෝය (1 රාජාවලිය 12:7). එහෙත් ඔහු එම උපදෙස් ප‍්‍රතික්ෂේප කළේය. රෙහෙබොවම් දෙවියන්වහන්සේ සෙවීමට අපොහොසත් විය. ඔහුගේ දරුණු පිළිතුර රාජ්‍යය දෙකඩ කර දෙවියන්වහන්සේගේ සෙනඟගේ ආත්මික වැටීම වේගවත් කළේය (12:14-19).

අපට පවුල තුළ, රැකියාස්ථානයේ, සභාවේ හෝ නිවස අවට, සේවය ලැබීමට නොව සේවය කිරීමට උන්වහන්සේගේ ප‍්‍රඥාව අවශ්‍යවේ.