නවක ඡායාරූප ශිල්පියෙකු ලෙස මාගේ කැමරාවෙන් දෙවියන්වහන්සේගේ මැවිල්ලේ ඡායාවන් ග‍්‍රහණය කිරීමට මම කැමති වූයෙමි. සෑම සුමුදු මල් පෙත්තකද සූර්යයා නැගීමේ සහ බැසීමේ විශ්මයජනක බවද පින්තාරු කර ඇති අහස් තලයෙහිද මම උන්වහන්සේගේ අඟිලි සළකුණු දකිමි.

මාගේ කැමරාවේ විශාල කර පෙන්වීමේ හැකියාව නිසා ස්වාමින් මැවූ සත්වයන්ගේ ඡායාරූප ගැනීමට පවා මට හැකිවේ. හඬ නගන ලේනුන්ද චෙරිමල් ගස්ද මලින් මලට පියාඹා යන සමනලුන්ද මුහුදේ ගල් මත වැතිර සිටින කැස්බෑ පැටවුන්ද කළු වෙරලද මම ඡායාරූප ගත කරමි. එක් එක් රූපකාය මට මුමුණන්නේ මාගේ විශ්මිත මැවුම්කරුවාණන් නමදින ලෙසය.

උන්වහන්සේගේ අසමසම මැවිලි බලා උන්වහන්සේ පැසසූ ප‍්‍රථම කෙනා මම නොවෙමි. 104 වන ගීතිකාව ලියූ කතෘ ස්වභාවධර්මයා තුළ ඇති ස්වාමින්වහන්සේගේ බොහෝ කලා කෘති ගැන ගයන්නේය (24 පදය). ඔහු “අන්න මහත්වූ විශාලවූ මුහුද, එහි කුඩා මහත් සත්වයෝ අසංඛ්‍ය ගණන් හැසිරෙති.” (25 පදය) කියා පවසයි. උන්වහන්සේගේ මැවිල්ල උන්වහන්සේ අඛණ්ඩව බලා ගන්නා නිසා ඔහු ප‍්‍රීති වෙයි (27-31 පද). දෙවියන්වහන්සේ ඔහු අවට දී ඇති ජීවනයේ තේජස දෙස බලා ගීතිකාකරු නමස්කාරයේ කෘතඥතාවයට පා නගන්නේය. “දිවි ඇති තාක් ස්වාමීන්ට ගී කියන්නෙමි. මා පවතින තෙක් මාගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී කියන්නෙමි.” (33 පදය).

ස්වාමින්ගේ තේජවත් අසීමිත මැවීම ගැන සිතමින් උන්වහන්සේගේ අරමුණක් ඇති නිර්මාණශිලීත්වය සහ කුඩා දේවල් ගැන අවධානය යොමු කර ඇති ආකාරය අපට මෙනෙහි කළ හැකිය. ගීතිකාකරු මෙන් අපට මැවුම්කරුවාණන් හට තුති පැසසුම් දිය හැකිය. ඒ උන්වහන්සේගේ බලය තේජස සහ ප්‍රේමය සැමදා පවතින නිසාය – හලෙලූයා!