මම කාරයේ දොර තදින් වසා පාසැල වෙත දිව ගියෙමි. “මං ඔයාට ආදරෙයි” මගේ පියා හඬ නගා කීවේය. මම එවිට පස්වන ශ්‍රේණියේ සිටියෙමි. සැම උදෑසනකම එම සිද්ධිය මාස ගණනාවක් සිදු විය. අප පාසැලට පැමිණි විට පියා “ශුභ දවසක්! මං ඔයාට ආදරෙයි” කියා කියන්නේය. නමුත් මා කීවේ “බායි” කියා පමණි. මා ඔහු සමග කෝපයෙන් සිටියේවත් ඔහුව නෙසලකා සිටියේවත් නැත. මම මගේම සිතුවිලිවල හිරවී සිටියෙමි. ඔහුගේ වචන මට එතරම් දැණුනේ නැත. නමුත් මගේ පියාගේ ප්‍රේමය නොසෙල්වී තිබුණි.

දෙවියන්වහන්සේගේ ප්‍රේමයත් එසේමය! ඊටත් වැඩිය. එය සෑම කාලයටම පවතින්නේය. එය ප්‍රකාශ කරන හෙබ්‍රෙව් වචනය නම් “හෙසෙද්” ය. එය පරණ ගිවිසුමෙහි නැවත නැවත සඳහන් වේ. ගීතාවලිය 136 හි 26 වරක් එය සඳහන් වේ. එහි පූර්ණ අර්ථය අද ඇති කිසිදු වචනයකින් දිය නොහැකිය. අප එය “කරුණාවන්තකම”,
“ප්‍රේමණීය කරුණාවන්තකම”, “දයාව” හෝ “පක්‍ෂපාතීකම” යන වචන වලින් පරිවර්තනය කරන්නෙමු. “හෙසෙද්” අර්ථය පදනම් වී ඇත්තේ ගිවිසුම් කැපවීම යන්නෙහිය. එම ප්‍රේමය පක්‍ෂපාතීය, විශ්වාසවන්තය. දේව සෙනග පව්කළද උන්වහන්සේ ඔවුන්ට දැක්වූ ප්‍රේමයේදී විශ්වාසවන්තව සිටි සේක. ස්ථිර ප්‍රේමය දෙවියන්වහන්සේගේ චරිතයේ වෙන්කළ නොහැකි කොටසකි (නික්මයාම 34:6).

මා දරුවෙකුව සිටි කාලයේ පියාගේ ප්‍රේමය ගැන අමුතු සැලකිල්ලක් නොදැක්වීමි. සමහර විට දැන් ස්වර්ගීය පියාණන්ගේ ප්‍රේමය ගැනද එසේ කරමි. දෙවියන්වහන්සේට ඇහුම්කන් දී ප්‍රතිචාර දැක්වීමට මට අමතක වේ. කෘතඥවීමටද මට අමතක වේ. නමුත් දෙවියන්වහන්සේ මට දක්වන ප්‍රේමය අචල බව මම දනිමි. එය මාගේ මුළු ජීවිතයටම ස්ථිර පදනමක් දෙන යථාර්ථයකි.