ඉශ්‍රායෙලයේ අයින් කාරෙම් නගරයේ බැහැදැකීමේ දේවස්ථානයෙහි ලූක් 1:46-55 ලියා ඇති බිම්ගල් 67 හි අලංකාරය මා විශ්මපත් කලේය. එය බොහෝ භාෂාවලින් ලියැවී තිබුණි. උදාන ගීතය යයි සම්ප්‍රදායානුකූලව හඳුන්වන එහි අර්ථය උසස් කිරීමයි. තමා මෙසියස් වහන්සේගේ මව වන බව දැන ගත් විට මරියා දැක්වූ ප්‍රීතිමත් ප්‍රතිචාරය එම වචන වලින් ප්‍රකාශ වන්නේය.

සෑම ගලකම මරියාගේ වචන අඩංගු වේ. “මාගේ සිත ස්වාමීන්වහන්සේ වර්ණනා කෙරෙයි, මාගේ ආත්මයද මාගේ ගැළවුම්කාර දෙවියන්වහන්සේ කෙරෙහි ප්‍රීතිමත්විය…. මක්නිසාද බලවත්වූ තැනන්වහන්සේ මට මහත් දේ කළසේක;” (46-49 පද). බිම්ගල් වල කොට ඇති බයිබලීය ගීතය ප්‍රශංසාවේ ගීයකි. එහිදී මරියා තමන්ට සහ ඉශ්‍රායෙල් දේශයට දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ප්‍රකාශ කරන්නේය.

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ලැබූ කෘතඥපූර්වක ස්ත්‍රියක් ලෙස (47 පදය) දෙවියන්වහන්සේගේ දයාව ඉශ්‍රායෙල්වරුන්ගේ පරම්පරා ගණනාවකට ව්‍යාප්ත කර ඇති බව ඇය පිළිගත්තාය (50 පදය). ඉශ්‍රායෙල්වරුන්ට දෙවියන්වහන්සේ දුන් රැකවරණය ගැන ආපසු හැරී බලා උන්වහන්සේ තම සෙනගට කළ බලවත් ක්‍රියා ගැන මරියා ප්‍රශංසා කරයි. තමන්ගේ දෛනික සැපයීමද උන්වහන්සේගෙන් ලැබෙන බව දැන ඇය දෙවියන්වහන්සේට තුති කරයි (53 පදය).

මරියා අපට පෙන්වන්නේ අපට කළාවූ ශ්‍රේෂ්ඨ දේවල් මතක් කිරීමද ප්‍රශංසා කිරීමේ එක් මාර්ගයක් බවය. එය අපට ප්‍රීතියට මග පෙන්වීමක් දෙන්නේය. මේ නත්තල් කාලයෙහිදී පසුගිය වසර ගැන සිතන විට දෙවියන්වහන්සේගේ යහපත්කම ගැන කල්පනා කරන්න. එසේ කිරීමෙන් ඔබගේ වචන සහ ප්‍රශංසාවලින් ඔබ අලංකාර ශ්‍රේෂ්ඨ බිම්ගල් චිත්‍රයක් ගොඩ නගනු ඇත.