බයිබලයේ දේවදුතයෙකු ප්‍රකාශ වන සැම විටම ඇසෙන පළමු වචන කිහිපය නම් “බිය නොවන්න” යන්නයි. අධිස්වභාවික දේවල් ලෝකය සමග ගැටෙන සෑම විටම බලන් සිටින මිනිසුන් මුහුණින් බිමට වැටේ. ඒ බිය නිසාය. නමුත් බිය නොවන ආකාරයකින් දෙවියන්වහන්සේ පැමිණි ක්‍රමයක් ලූක් පවසයි. යේසුස්වහන්සේ සතුන් මැද ගවලෙනක ඉපිද ගවයන් කන ඔරුවක සිටි සේක. ඒ අප බිය නොවන ප්‍රවේශයක් දෙවියන්වහන්සේ ගත් නිසාය. අලුත උපන් ළදරුවෙකු තරම් බිය ගෙන නොදෙන දෙය කුමක්ද?

පෘථිවියෙහිදී යේසුස්වහන්සේ දෙවියන්වහන්සේද මනුෂ්‍යයාද වූ සේක. දෙවියන්වහන්සේ ලෙස උන්වහන්සේට හාස්කම් කළ හැකි විය. පාපවලට සමාව දිය හැකි විය. මරණය පැරදවිය හැකි විය. අනාගතය කීමට හැකි විය. නමුත් යුදෙව්වන් දෙවියන්වහන්සේ දැන සිටියේ දීප්තිමත් වළාකුළු සහ ගිනි ටැඹ යන සංකේත වලිනි. යේසුස්වහන්සේ ඔවුන්ට විශාල ව්‍යාකූල භාවයක් ගෙනාවේය. බෙත්ලෙහෙමේ ළදරුවෙකු, වඩුවෙකුගේ පුත්‍රයෙකු, නාසරෙත්හි මනුෂයෙකු දෙවියන්වහන්සේගේ මෙසියස්වහන්සේ වන්නේ කෙසේද?

දෙවියන්වහන්සේ මනුෂ්‍යාකාරයක් ගත්තේ මන්ද? මාළිගාවේ රබ්බිවරුන් සමග වාද කරන 12 වියැති යේසුස්වහන්සේගේ දර්ශනය අපට එක් ඔත්තුවක් දෙයි. “උන්වහන්සේගේ බස් ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ නුවණ හා උත්තර ගැන විස්මිත වූහ” (ලූක් 2:47) යයි ලූක් පවසන්නේය. දෘශ්‍යමාන වේශයෙන් සිටින දෙවියන්වහන්සේ සමග පළමුවරට සාමාන්‍ය සෙනඟට සාකච්ඡා කළ හැකි වුනි.

උන්වහන්සේගේ දෙමාපියන්, රබ්බිවරුන්, දුගී වැන්දඹුවක් වැනි ඕනෑම කෙනෙකුට කථා කිරීමට යේසුස්වහන්සේට හැකිය. ඒ “බිය නොවන්න” කියා ප්‍රථමයෙන් නොකියාය. යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ අපට සමීප වන සේක.