වෙහෙස වූ එක් දිනෙක ෂර්ලි තම හාන්සි පුටුවේ දිග ඇදුණාය. ඇය ජනේලයෙන් පිටත බැලුවාය. වයසක යුවළක් “නොමිළේ” කියා සඳහන් වන ලේබලයක් ගසා තිබූ පරණ වැටක් ගළවා ගැනීමට වීර්යය කරනවා දුටුවාය. ඇය තම ස්වාමිපුරුෂයාද ඇදගෙන ඔවුන්ට උපකාර කිරීමට පිටතට දිව්වාය. ඔවුන් සතර දෙනා වීල්බැරැක්කයකට වැටේ කොටසක් රෝල්කර දැමූහ. එය වයසක යුවළගේ නිවසට නගරය හරහා තල්ලුකර ගෙන ගියෝය. ඔවුන් සෙනගට කෙතරම් ආකර්ශණයක් වනවාද කියා ඒ අතර ඔවුහු සිනහාසෙමින් කීවෝය. වැටෙහි දෙවන කොටස ගැළවීමට නැවත එන විට ස්ත්‍රිය ෂර්ලිගෙන් ඇසුවේ “ඔබ මාගේ මිතුරිය වනවාද?” කියාය. “ඔව් මම කැමතියි” ෂර්ලි පිළිතුරු දුන්නාය. ෂර්ලි පසුව දැනගත්තේ එම වියට්නාම් ස්ත්‍රියගේ ඉංග්‍රිසි දැනුම අල්ප බවත් ඇයගේ දරුවෝ දුර පළාත්වලට ගොස් ඇති බැවින් ඇය තනිවී ඇති බවත්ය.

ලෙවී කථාවේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන්ට මතක් කළේ වෙනත් රටක අමුත්තන් වීමේ හැඟීමය (19:39). එසේම අන් අයට උපකාර කරන්නේ කෙසේද කියාය (9-18 පද). දෙවියන්වහන්සේ උන්වහන්සේගේ සෙනග වීමට ඔවුන්ව වෙන්කර තිබේ. ඊට ප්‍රතිචාර වශයෙන් ඔවුන් තම අසල්වාසීන්ට තමන්ට මෙන් ප්‍රේමකර උපකාර කළ යුතු වන්නේය. ජාතීන් හට දෙවියන්වහන්සේ දුන් ශ්‍රේෂ්ඨතම ආශිර්වාදය වන්නේ යේසුස්වහන්සේය. උන්වහන්සේ තම පියාණන්ගේ වචන නැවත ප්‍රකාශ කරමින් අප සියල්ලන්ට එය දිගු කළ සේක. “නුඹේ දෙවිවූ ස්වාමින්වහන්සේට ප්‍රේම කරව…. නුඹට මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරව” (මතෙව් 22:37-38).

අප තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය මගින් අපට දෙවියන්වහන්සේට සහ අන් අයට ප්‍රේම කළ හැක්කේ උන්වහන්සේ අපට පළමුව ප්‍රේම කළ නිසාවෙනි (ගලාති 5:22-23; 1 යොහන් 4:19). ෂර්ලි සමග අපටත් “ඔව් මම කැමතියි” කියා කීමට පුළුවන්ද?