1968 අප්‍රේල් 3 වෙනිදා ආචාර්ය මාර්ටින් ලූතර් කිංග් තම අවසන් කථාව කළේය. “මම කඳු මුදුනේ සිටියෙමි”. එහිදී ඔහු අඟවන්නේ තමා වැඩිකල් ජීවත් නොවන බව ඔහු විශ්වාස කරන බවයි. “ඉදිරියේදී අපට අසීරු දින කිහිපයක් තිබේ. නමුත් එය දැන් මට ගැටළුවක් නොවේ. ඊට හේතුව මම කන්ද මුදුනට නැග්ගෙමි. මම ඉදිරිය බැලීමි. පොරොන්දු දේශය දැක්කෙමි. මම ඔබත් එක්ක එහි යනවාදැයි නොදනිමි…. (නුමුත්) මම අද රාත්‍රීයේ ප්‍රීතියෙන් සිටිමි. මම කිසි දෙයක් ගැන කරදර නොවෙමි. මම කිසි මනුෂ්‍යයෙකුට බිය නොවෙමි. පැමිණෙන්නාවූ ස්වාමින්වහන්සේගේ තේජස මාගේ ඇස් දැක තිබේ” යයි ඔහු කීවේය. ඊට පසු දින ඔහුව මරා දැමුණි.

අපෝස්තලු පාවුල් තම ගෝලයා වන තිමෝතිට ඔහුගේ මරණයට ටික දිනකට පෙර ලීවේ “මම දැන් යාගකරනු (දියර පූජාවක් මෙන් වගුරුවනු) ලබමින් සිටිමි. මාගේ ඉකුත්වීමේ කාලයද පැමිණ තිබේ…..මෙතැන් පටන් ධර්මිෂ්ඨකමේ ඔටුන්න මට තබා තිබේ. එය ධර්මිෂ්ඨ විනිශ්චයකාරයාවූ ස්වාමින්වහන්සේ ඒ දවසේදී මට දෙනවා ඇත” (2 තිමෝති 4:6,8). පාවුල්ද ආචාර්ය කිංග් මෙන් තමාගේ භෞමික ජීවිතය අවසානයට පැමිණ තිබෙන බව දැන සිටියේය. ඔවුන් දෙදෙනාම තම ජීවිත ඉතා වැදගත් බව තේරුම් ගත්තත් ඉදිරියෙහි ඇති සත්‍ය ජීවිතය අමතක කළේ නැත. දෙදෙනාම ඊළඟට එන දෙය ආශාවෙන් බලා සිටියෝය.

ඒ අය මෙන් අපද “පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටිමු. මක්නිසාද පෙනෙන දේ කාලිකය. නොපෙනෙන දේ සදා කාලිකය” (2 කොරින්ති 4:17-18).