එක් දිනක් මවක් සහ ඇගේ කුඩා දියණිය දේවස්ථානයේ වාඩිවී සිටියාය. දේවමෙහෙය අතරතුර, ප්‍රසිද්ධියේ දෙවියන්වහන්සේගේ සමාව ලබාගැනීමට සෙනඟට අවස්ථාව ලබා දෙන ලදී. එසේ කිරීමට යම් කෙනෙක් ඉදිරියට යන සෑම විටකම මෙම කුඩා දරුවා අත්පොළසන් දුන්නාය. “මට සමාවන්න” කියා පසුව එම මව සභා නායකයාට කියා සිටියාය. “පසුතැවිල්ල හේතුවෙන් අපි නැවත දෙවියන්වහන්සේ සමඟ මිතුරු වෙනවා කියා මම මගේ දුවට පැහැදිලි කරලා දුන්නා. ඒ නිසා ඇයට ඉදිරියට යන හැම කෙනෙකුටම අත්පොළසන් දෙන්න ඕනැ උනා.”

ඒ මව කුඩා දරුවෙකුගේ මනසට ශුභාරංචිය පිළිබඳ සරලව තේරුම් කර දෙන්නට උපයෝගි කළේ ඉතාම හොඳ පැහැදිලි කිරීමකි. කලක් දෙවියන්වහන්සේගේ සතුරන්ව සිටි අපිව ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම තුළින් උන්වහන්සේ සමග නැවත සම්බන්ධ කර ඇත (රෝම 5:9-10). දැන් සැබවින්ම අපි දෙවියන්වහන්සේගේ මිතුරෝ වෙමු. මෙම මිතුරුකම බිඳ දමනු ලැබුවේ අප විසින්ම නිසා (8 පදය) පසුතැවිලිවීම යනු නැවත සම්බන්ධ වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට අප විසින් කළ යුත්තකි. ඒ කුඩා දැරිය ඉතාමත්ම උචිත අන්දමින් ප්‍රතිචාර දැක්වූවාය. එක් කෙනෙක් පසුතැවිලි වන විට මුළු ස්වර්ගයම අත්පොළසන් දෙන නිසා (ලූක් 15:16) ඇය නොදැනුවත්වම එයට දෝංකාරයක් එකතු කළාය.

යේසුස්වහන්සේ තමන්ගේ එම සම්බන්ධතාවය නැවත ඇතිකිරීමද එසේ පැහැදිලි කළ සේක. “යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත” (යොහන් 15:13). අප වෙත දැක්වූ මිත්‍රත්වයේ මෙම පරිත්‍යාගශීලි ක්‍රියාවෙහි ප්‍රතිඵලයක් ලෙස අපට දැන් උන්වහන්සේ සමඟ මිතුරන් විය හැකියි. “….තවත් නුඹලාට දාසයෝ යයි නොකියමි; ….නුඹලාට මිත්‍රයෝයයි කියමි” (යොහන් 15:15)

කලක් දෙවියන්වහන්සේගේ සතුරන්ව සිට, දැන් අපි දෙවියන්වහන්සේගේ මිත්‍රයෝ වෙමු මෙය අදහාගත නොහැකි සිතුවිල්ලක්. අත්පොළසන් දෙන්න වටින සිතුවිල්ලක්.