යෙරුසලමේ තැපැල් කාර්යාලයක සෑම දිනම එහි සේවකයින් බෙදාහැරිය නොහැකි ලිපි ගොඩවල් වර්ග කරමින් ඒවා ලැබිය යුත්තන්ට ලබා දෙන්නට උත්සාහ දරති. ඒවායින් බොහොමයක් ඉතිරි වෙන්නේ “දෙවියන්වහන්සේට ලිපි” යන්නෙන් නම් කරන ලද විශේෂ පෙට්ටියකයි.

සෑම වසරකම මෙවැනි දෙවියන්වහන්සේට හෝ යේසුස්වහන්සේට හෝ ලියන ලද ලිපි දහස් ගණනක් යෙරුසලමට ලැබෙති. මේවා සමඟ කුමක් කරන්නටද කියා සිතාගන්නට බැරිව එක් සේවකයෙක් මෙම ලිපි යෙරුසලමේ බටහිර තාප්පයට ගෙන ගොස් එහි ඇති වෙනත් ලියන ලද යාච්ඤා සමඟ ගල් පර අතරෙන් තැබූහ. බොහෝ ලිපි වලින් ඉල්ලා තිබුණේ රැකියාවක්, සහකරුවෙක් හෝ යහපත් සෞඛ්‍යයි. සමහර අය සමාව ඉල්ලා ඇති අතර අනෙක් අය ස්තුති දීම පමණක් ලියා තිබුණි. එක් මනුෂ්‍යයෙක් ඔහුගේ මිය ගිය බිරිඳ නැවත දැකගන්නට ආශාවෙන් බලා සිටින නිසා ඇයව හීනෙන් දකින්න සළස්වන්න දෙවියන්වහන්සේට හැකිදැයි ඉල්ලා තිබුණි. ඒ සෑම යවන්නෙක්ම දෙවියන්වහන්සේ සොයා ගන්නට හැකි වුවහොත් උන්වහන්සේ අසා සිටිනවා කියා විශ්වාස කළහ.

ඉශ්‍රායෙල් සෙනඟ පාලුකරය තුළින් ගමන් කරද්දී බොහෝ කාරණා ඉගෙනගත්හ. එකක් නම් ඔවුන්ගේ දෙවියන්වහන්සේ එකල දැන සිටි අන් දෙවිවරු මෙන් දුරස්ථ වූ, බිහිරි, භූගෝලීය වශයෙන් සීමා වූ, දීර්ග වන්දනා ගමනකින් හෝ ජාත්‍යාන්තර තැපෑලෙන් හෝ ළඟා විය හැකි දෙවිකෙනෙක් නොවන බවයි. එසේ නොවෙයි. “අපේ දෙවිවූ ස්වාමින්වහන්සේට අප යාච්ඤා කරන සියලු ප්‍රස්ථාවයන්හිදීම උන්වහන්සේ අපට ළංව සිටින සේක” (4:7 පදය). වෙන කුමන සෙනඟකට මෙවැන්නක් ලබා ගත හැකිද? මෙය විප්ලවීය ප්‍රවෘත්තියක් විය!

දෙවියන්වහන්සේ වාසය කරන්නේ යෙරුසලමේ නොවේ. අප කොතැනක සිටියත් උන්වහන්සේ අප අසළමය. මෙම මූලික සත්‍යය සමහරෙක් තවමත් අවබෝධ කරගෙන නැත. ඒ එක් එක් ලිපියකට මෙසේ පිළිතුරු ලියා එවන්නට තිබුනා නම් : දෙවියන්වහන්සේ ඔබ අසළම සිටින සේක. උන්වහන්සේ සමඟ කථා කරන්න.