“රෂියන් සේජ්” නැමැති සේර වැනි පැළෑටි වර්ගයක් මතට බඹරෙක් සැහැල්ලුවෙන් බසිනවා මම බලා සිටිද්දී වර්ණවත් අතු වලින් පිරී තිබූ පඳුර නිසා මම පුදුමයට පත්වීමි. එහි දීප්තිමත් නිල් මල් අපේ ඇස් සහ මී මස්සන් ආකර්ෂණය කර ගත්තේය. ගස්වල කොළ වැටෙන කාලයේදී නොහොත් සරත් සෘතුව පැමිණෙන කල එය නැවත මල්වලින් පිපෙයිද යන්න මම කල්පනා කළෙමි. මගේ බිරිඳගේ දෙමව්පියන් විසින් පෙරිවින්කල් පැලය (පැතලි පෙති පහකින් යුත් මල් ඇති පැළෑටියක්) කොටයක් තරමට කපා දැමූ විට මම සිතුවේ ඔවුන් සම්පූර්ණයෙන්ම එය උදුරා දැමීමට තීරණය කරනු ඇති බවයි. නමුත් කප්පාදු කිරීමේ දීප්තිමත් ප්‍රතිඵලය මට දැන් දැක ගත හැකි විය.

කටුක කප්පාදුවල ප්‍රතිඵලය ලෙස ඇති වන විශ්මිත සුන්දරත්වය, ඇදහිලිවන්තයන් අතර දෙවියන්වහන්සේ කළ සේවය විස්තර කිරීම සඳහා ස්වාමින් වන යේසුස්වහන්සේ නිදසුනක් වශයෙන් තෝරා ගැනීමට එක් හේතුවක් විය හැකිය. යොහන් 15 හි සමිඳාණන්වහන්සේ මෙසේ වදාරන සේක. “මම සැබෑවූ මිදිවැලය, මාගේ පියාණන්වහන්සේ ගොවියාය. මා තුළෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහකරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍රකරනසේක.” (1-2 පද).

ස්වාමින්වන යේසුස්වහන්සේගේ වචන අපට මතක් කර දෙන්නේ යහපත් කාලවලදී සහ අයහපත් කාලවලදී දෙවියන්වහන්සේ සැම විටම අධ්‍යාත්මික ප්‍රාණවත් බවක් සහ වඩාත් ඵල දැරීම සඳහා අප තුළ වැඩ කරන බවය (5 පදය). දුක් විඳීමේ හෝ චිත්තවේගීය වඳභාවයේ “කප්පාදු” කාලවලදී අපි නැවත කවදා හෝ සමෘද්ධිමත් වේදැයි අපට සිතේ. නමුත් ක්‍රිස්තුස්වහන්සේ දිගටම උන්වහන්සේට සමීපව සිටීමට අපව දිරිගන්වයි. “අත්ත මිදිවැලෙහි නොපවතී නම් තනියම ඵල දරන්ට බැරුවාක්මෙන්, නුඹලා මා තුළෙහි නොපවතිවු නම්, ඵල දරන්ට නුඹලාට බැරිය.” (4 පදය).

ස්වාමින් වන යේසුස්වහන්සේගෙන් අප නිරන්තරයෙන් අධ්‍යාත්මික පෝෂණය ලබා ගන්නා විට එහි ප්‍රතිඵලයක් වශයෙන් අපගේ ජීවිතයේ සුන්දරත්වය සහ ඵලදායිතාවය (8 පදය) මුලු ලෝකයට දෙවියන්වහන්සේගේ යහපත්කම පෙන්වනු ඇත.