තරුණ පියෙක් තම පුතාව අතේ තබා ගෙන දරුවාට ගායනා කරමින් රිද්මයානූකූලව ඔහුව නැළෙව්වේය. දරුවා ශ්‍රවණාබාධිත වූ අතර තනු හෝ වචන ඇසීමට ඔහුට නොහැකි විය. එසේ වූවත් පියා කෙසේ හෝ ගායනා කළේ තම පුතා කෙරෙහි සුන්දර, මුදු මොළොක් ආකාරයකිනි. ඔහුගේ උත්සාහයට ඔහුට තම කුඩා පුතාගෙන් ප්‍රීතිමත් සිනහවක් ලැබුණි.

පිය-පුතු හුවමාරුවේ නිරූපණය ශෙපනියාගේ වචනවලට කැපී පෙනෙන සමානකමක් දක්වයි. පරණ ගිවිසුමේ අනාගතවක්තෘවරයා පවසන්නේ දෙවියන්වහන්සේ තම දියණිය වන යෙරුසලමේ සෙනග ගැන ප්‍රීතියෙන් ගායනා කරන බවයි (ශෙපනියා 3:17). තම ආදරණීය ජනතාවගේ දඬුවම ඉවත් කිරීම සහ සතුරන් ආපසු හැරවීම වැනි යහපත් දේ කිරීමට දෙවියන්වහන්සේ ප්‍රිය කරන සේක (15 පදය). ශෙපනියා පවසන්නේ ඔවුන්ට තවදුරටත් බිය වීමට හේතුවක් නොමැති බවත් ඒ වෙනුවට ප්‍රීති වීමට හේතුවක් ඇති බවත්ය.

යේසුස් ක්‍රිතුස්වහන්සේගේ පූජාවෙන් මිදීම ලැබූ දෙවියන්වහන්සේගේ දරුවන් වශයෙන් අපට සමහර විට ඇසීමට අපහසුය. දෙවියන්වහන්සේ අප කෙරෙහි ගායනා කරන උත්කර්ෂවත් ප්‍රේමයට අපගේ කන් යොමු කිරීමට අපි අපොහොසත් වන්නෙමු. එසේත් නැත්නම් අකමැති වන්නෙමු. උන්වහන්සේ අප කෙරෙහි දක්වන ඇල්ම, ඇහුම්කන් දීමට නොහැකි වුවද තම පුතුට ආදරයෙන් ගායනා කළ මෙම කථාවේ තරුණ පියා හා සමාන වේ. අපට තවදුරටත් ප්‍රීති සන්තෝෂ වීමට හේතුවක් වන පිණිස උන්වහන්සේ අපගේ දඬුවමද ඉවත් කළ සේක. උන්වහන්සේගේ කට හඬේ ප්‍රීති ඝෝෂාව ඇසීමට අපි වඩාත් සමීපව උන්වහන්සේට සවන් දීමට උත්සාහ කළ යුතු වන්නෙමු. පියාණෙනි, ඔබවහන්සේගේ ආදරණීය මිහිරි කටහඬ ඇසීමටත් එබවහන්සේගේ දෑත්වල සුරක්‍ෂිතව සිටීමටත් අපට උපකාර කළ මැනව.