සෝදන බේසමක් අසළ කුඩා දරුවන් දෙදෙනෙක් අත් සෝදමින් “සුභ උපන් දිනයක් වේවා” යන ගීතය ඉතා ප්‍රීතියෙන් දෙවරක් බැගින් ගායනා කළහ. ඔවුන්ගේ මව ඔවුන්ට කියා දී ඇත්තේ “විෂබීජ සෝදා හැරීමට එපමණ කාලයක් අත් සේදිය යුතුය” කියාය. එසේ හෙයින් කෝවිඩ් 19 වසංගතයට පෙර පවා ඔවුන්ගේ අත් වලින් අපිරිසිදුකම ඉවත් කිරීමට කාලය ගැනීමට ඔවුහු ඉගෙන ගෙන තිබුණි.

අප වසංගතයෙන් ඉගෙන ගත් පරිදි සියල්ලක්ම පිරිසිදුව තබා ගැනීම වෙහෙසකර ක්‍රියාවලියක් විය හැකිය. කෙසේ වෙතත් පාපය දුරු කිරීම යන්නෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේ වෙතට යොමු වූ පියවර අනුගමනය කිරීමයි.

රෝම අධිරාජ්‍යය පුරා විසිර සිටින යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයන්ගෙන් යාකොබ් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ අවධානය දෙවියන්වහන්සේ වෙත යොමු කරන ලෙසටයි. නිතරම අඩදබර කර ගන්නා ඔවුන්ගේ අඩදබර වලට හේතුව වූයේ අනුන්ට වඩා ඉහළින් යෑමත්, දේපළ වලට ඇති දැඩි ආශාවත්, ලෞකික සැප, මුදල් සහ පිළිගැනීම ලබා ගැනීමත් සඳහා වූ අතර ඒ මගින් ඔවුහු දෙවියන්වහන්සේගේ සතුරන් බවට පත්වූහ. යාකොබ් ඔවුන්ට අනතුරු ඇඟවූයේ “දෙවියන්වහන්සේට යටත්ව සිටින්න. නමුත් යක්‍ෂයාට විරුද්ධව සිටින්න. එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත …… පව්කාරයෙනි, නුඹලාගේ අත් පවිත්‍ර කර ගන්න. දෙසිත් ඇත්තෙනි, නුඹලාගේ සිත් පිරිසිදු කර ගන්න” (යාකොබ් 4:7-8). යනුවෙනි. නමුත් කෙසේද?

“දෙවියන්වහන්සේට ළංවෙන්න. එවිට උන්වහන්සේ නුඹලාට ළංවන සේක” (8 පදය). මේවා අපගේ ජීවිත වලින් පාපය ඉවතර ගැනීමේ අවශ්‍යතාවය විස්තර කරන පවිත්‍රකාරක වචන වේ. ඉන්පසුව යාකොබ් තවදුරටත් පිරිසිදු කිරීමේ ක්‍රමය පැහැදිළි කළේය. “දුක් වෙමින් වැළපෙමින් හඬන්න. නුඹලාගේ සිනාසිම ශෝකයටත් නුඹලාගේ ප්‍රීතිය කණගාටුවටත් හැරේවා. ස්වාමින්වහන්සේ ඉදිරියෙහි යටහත් වෙන්න. එවිට උන්වහන්සේ ඔබව උසස් කරන සේක” (9-10 පද).

අපගේ පාපය ගැන පසුතැවීම නිහතමානී ක්‍රියාවකි. නමුත් හාලේලූයියා. අපගේ “පිරිසිදුකම” නමස්කාරය බවට පත් කිරීමට දෙවියන්වහන්සේ විශ්වාසවන්තය.