ටෙලිමාකස් නම් භික්‍ෂුවක් නිහඬ ජීවිතයක් ගත කළ නමුත් හතරවන සියවස අවසානයේ ඔහුගේ මරණය ලෝකය වෙනස් කළේය. නැගෙනහිර සිට රෝමයට ගිය ටෙලිමාකස් ග්ලැඩියේටර්වරුන්ගේ පිටියේ ලේ ක්‍රීඩාවට මැදිහත් වුනි. ඔහු ක්‍රීඩාංගණයේ බිත්තියට උඩින් පැන ග්ලැඩියේටර්වරුන් එකිනෙකා ඝාතනය කිරීම වැළැක්වීමට උත්සාහ කළේය. එහෙත් කෝපයට පත්වූ සමූහයා භික්‍ෂුවට ගල් ගසා මරා දැමූහ. කෙසේ වෙතත් හොනොරියස් අධිරාජ්‍යයා ටෙලිමාකස්ගේ ක්‍රියාවෙන් පෙළඹී වසර 500 ක ග්ලැඩියේටර් ක්‍රීඩාවල අවසානය නියම කළේය.

පාවුල් තුමා යේසුස්වහන්සේව “අපගේ සමාදානය” ලෙස හඳුන්වමින් පෙන්වා දෙන්නේ යුදෙව්වන් හා අන්‍ය ජාතීන් අතර සතුරුකමේ අවසානයයි (එපීස 2:14). දෙවියන්වහන්සේගේ තෝරාගත් සෙනඟ වන ඉශ්‍රායලය අන් ජාතීන්ගෙන් වෙනස් වී සමහර වරප්‍රසාද භුක්ති වින්දහ. නිදසුනක් වශයෙන් යෙරුසලමේ දේව මාළිගාව තුළ නමස්කාර කිරීමට අන්‍යජාතීන්ට අවසර දී තිබුණද බෙදීමේ පවුරක් මගින් මරණ දඬුවම මත ඔවුන්ව පිටත මළුව දක්වා සීමා කර තිබුණි. යුදෙව්වන් අන්‍යජාතීන් අපවිත්‍ර අය ලෙස සැළකූ අතර ඔවුහු අන්‍යොන්‍ය සතුරුකම අත්වින්දහ. නමුත් දැන් යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම කරණකොට ගෙන සෑම දෙනාටම එනම් යුදෙව්වන් සහ අන්‍යජාතීන් යන දෙගොල්ලන්ටම උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් නිදහසේ දෙවියන්වහන්සේට නමස්කාර කළ හැකිය (18-22 පද). බෙදීමේ පවුරක් නැත. එක් කණ්ඩායමකට වඩා අනෙක් කණ්ඩායමට වරප්‍රසාදයක් නොමැත. දෙවියන්වහන්සේ ඉදිරියේදී දෙදෙනාම සමානය.

ටෙලිමාකස් තම මරණය තුළින් රණශූරයන්ට සමාදානය ගෙන ආවා සේම, යේසුස්වහන්සේ තම මරණය හා නැවත නැගිටීම තුළින් තමන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන සියල්ලන්ට සමාදානය හා සමගිය ගෙන ආ සේක. ඉදින් යේසුස්වහන්සේ අපගේ සමාදානය නම් අපගේ වෙනස්කම් වලට අපව බෙදීමට ඉඩ නොදෙමු. උන්වහන්සේගේ රුධිරයෙන් උන්වහන්සේ අපව එක් අයෙක් කළ සේක.