යොවුන් විය සමහර විට දෙමාපියන්ට සහ දරුවන්ට යන දෙගොල්ලන්ටම ජීවිතයේ වඩාත්ම වේදනාකාරී කාලය විය හැකිය. මගේ මවගේ රැකවරණයෙන් මිදී තනිවම මගේ ජීවිතය ගෙන යාමට යොවුන් වියේදී ඇති වූ බලපෑම නිසා ඇගේ නීති රීති වලින් ඇය උත්සාහ කරන්නේ මාව තවත් වේදනාවට පත් කිරීම යයි සැක කොට මම ඇගේ සාරධර්ම විවෘතව ප්‍රතික්ෂේප කර ඇගේ නීති රීතිවලට එරෙහිව කැරළි ගැසුවෙමි. එතැන් සිට අපි එම කාරණා සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණියද අපගේ සම්බන්ධතාවයේ එම කාලය ආතතියෙන් පිරී තිබුණි. ඇගේ උපදෙස්වල ප්‍රඥාවට මා අවනත නොවීම ගැන ඇය නිසැකවම දුක් වූයේ ඒවා මාව අනවශ්‍ය මානසික හා ශාරීරික පීඩාවන්ගෙන් වළක්වා ගනු ඇතැයි දැන සිටි නිසාය.

තම දරුවන් වන ඊශ්‍රායෙල්වරුන් කෙරෙහිද දෙවියන්වහන්සේ තුළ ඒ හා සමාන සිතක් තිබුණි. දස පනත ලෙස අප හඳුන්වන දේ අනුව ජීවත් වීමට දෙවියන්වහන්සේ සිය ප්‍රඥාව ලබා දුන් සේක (ද්වීථීය කථාව 5:7-21). ඒවා නීති රීති ලැයිස්තුවක් ලෙස පෙනෙන්න තිබුණත් දෙවියන්වහන්සේගේ අභිප්‍රාය මෝසෙස්ට දුන් වචනවලින් පැහැදිළි වේ : “ඔවුන්ටද ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධ වන පිණිස….” (29 පදය). දෙවියන්වහන්සේගේ ආශාව මෝසෙස් හඳුනාගත් අතර උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙන් එහි ප්‍රතිඵලයක් ලෙසට පොරොන්දු දේශය තුළදී ඔවුන්ට දිගටම උන්වහන්සේගේ අභිමුඛය අත් විඳිය හැකි බව ඔහු තේරුම් ගත්තේය (33 පදය).

ජීවත් වීම සඳහා උන්වහන්සේගේ මාර්ගෝපදේශ සැබවින්ම අපගේ යහපත සඳහා යයි විශ්වාස නොකරමින් අපි සැවොම දෙවියන්වහන්සේ සමග “යොවුන් වියේ” කාලයක් ගත කරන්නෙමු. අපට වඩාත්ම සුදුසු දේ උන්වහන්සේ දන්නා බව වටහා ගෙන උන්වහන්සේ ලබා දෙන ප්‍රඥාවට අවනත වීමට ඉගෙන ගනිමු. උන්වහන්සේගේ මාර්ගෝපදේශයන් යන්නෙන් අදහස් වන්නේ යේසුස්වහන්සේ මෙන් ආත්මික පරිණත භාවයට අපට මග පෙන්වීම වන්නේය (ගීතාවලිය 119:97-104; එපීස 4:15; 2 පේත්‍රැස් 3:18).