ඩෑන් සිය යතුරු පැදියේ යමින් සිටියදී මෝටර් රථයක් ඔහුගේ මංතීරුවට කැපූ හෙයින් ඔහුව ඉදිරියට එන රථ වාහන වලට තල්ලු කර දැමුණි. සති දෙකකට පසු ඔහු කම්පන මධ්‍යස්ථානයෙන් අවදි වූ විට ඔහු සිටියේ “අවුල් ජාලයකය”. නරකම දෙය නම් ඔහු කොඳු ඇට පෙළේ ආබාධයකට ලක්වීම හේතුවන් අංශභාග රෝගියෙක් වීමයි. සුවය සඳහා ඩෑන් යාච්ඤා කළ නමුත් එය කිසි දිනෙක පැමිණුනේ නැත. නමුත් “මේ ජීවිතයේ අරමුණ නම් අපි ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රතිරූපයට අනුගත වීමයි. අවාසනාවකට මෙන් එය සිදු වන්නේ සෑම දෙයක්ම පැහැදිළිව දේදුන්නක් මෙන් තිබෙන විට නොවේ. එය සිදුවන්නේ ජීවිතය දුෂ්කර වූ විටදීය. දවස පුරාම යාච්ඤාව මගින් දෙවියන්වහන්සේ කෙරෙහි යැපීමට අපට බල කෙරෙන විටය” යන්න දෙවියන්වහන්සේ දයානුකම්පාවෙන් ඔහුට ඉගැන්වූ බව ඔහු විශ්වාස කළේය.

දෙවියන්වහන්සේ සමග නිවැරදි ස්ථාවරයක සිටීමෙන් ලැබෙන ප්‍රයෝජන දෙකක් ගැන අපෝස්තලු පාවුල් පැහැදිළි කළේය. විඳ දරා ගැනීමේදී නොපසුබට උත්සාහය සහ පීඩාවේදී ප්‍රීතියයි (රෝම 5:3-4). මෙම ප්‍රතිලාභ දෙක ආත්ම දමනය කිරීමට හෝ වේදනාවෙන් සතුටක් ලබා ගැනීමට කළ ඉල්ලීමක් නොවේ. එය දෙවියන්වහන්සේ කෙරෙහි නොසැලෙන විශ්වාසයක් සඳහා වූ ආරාධනාවකි. දුක් විඳීමත් සමගම ක්‍රිස්තුස්
වහන්සේ “දුක් විඳීමෙන් ඉවසිල්ලද ඉවසිල්ලෙන් සහතික කමද සහතික කමෙන් බලාපොරොත්තුවද” (3-4 පද) අප තුළ වර්ධනය කරන සේක. මේ සෑම දෙයක්ම ගලා එන්නේ පියාණන් වහන්සේ අපව අත් නොහරින බවත් ගින්න මැදින් අපගේ අනාගතය වෙතට අප සමගම පා තබන බවත් යන විශ්වාසය තුළිනි.

අපගේ දුක් වේදනා වලදී දෙවියන්වහන්සේ අපව මුණ ගැසෙන අතර උන්වහන්සේ තුළ වැඩීමට අපට උපකාර කරන සේක. පීඩාවන් උන්වහන්සේ අප ගැන නොසැළකීම නිසා සිදුවන්නක් බව නොසිතමු. ඒ වෙනුවට “අපගේ හදවත් වලට වගුරුවනු ලබන” (5 පදය) උන්වහන්සේගේ ප්‍රේමය අපි අත්විඳිද්දී අපගේ චරිතය තියුණු කිරීමට සහ ගොඩනැගීමට උන්වහන්සේ පීඩාවන් භාවිතා කරන ක්‍රම සොයමු.