කැතරින් සහ මම උසස් පෙළ පන්තියේ හොඳ මිතුරියන් වීමු. අපි දූරකථනයෙන් කථා නොකරන විට පවා අපගේ ඊළඟ කෙටි නිවාඩුව සැළසුම් කිරීම සඳහා අපි පන්තියේදී සටහන් හුවමාරු කර ගත්තෙමු. සමහර අවස්ථාවන්වලදී අපි එකට අශ්වයන් පිට යන අතර පාසැල් ව්‍යාපෘති වලටද හවුල් වුනෙමු.

එක් ඉරිදා සවසක මම කැතරින් ගැන සිතන්න පටන් ගත්තෙමි. සදාකාල ජීවනය ලබා ගන්නේ කෙසේද යන්න ගැන මගේ දේවගැතිවරයා එදින කථා කළ අතර මගේ මිතුරිය මා විශ්වාස කරන ආකාරයටම බයිබලයේ ඉගැන්වීම් විශ්වාස නොකරන බව මම දැන සිටියෙමි. ඇයව අමතා ඇයට යේසුස් වහන්සේ සමග සම්බන්ධයක් ඇති කර ගන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමට මට බරක් ඇති වුනි. නමුත් මම පසුබට වූයේ ඇය මා කියන දේ ප්‍රතික්‍ෂේප කර මගෙන් ඈත් වේ යැයි මා බිය වූ නිසාවෙනි.

මම හිතන්නේ මෙම බිය අප බොහෝ දෙනෙක්ව නිහඬ කරන බවයි. “භය නැතුව මාගේ මුඛය අරින ලෙස කථාවේ බලය මට ලැබෙන පිණිස” (එපීස 6:19) යාච්ඤා කරන ලෙස මිනිසුන්ගෙන් ඉල්ලා සිටීමට ප්‍රේරිත පාවුල් තුමාට පවා සිදු වුනි. ශුභාරංචිය බෙදා ගැනීමේදී ඇති විය හැකි අවදානමට මුහුණ දිය යුතුය. එහෙත් පාවුල් පැවසුවේ තමා “තානාපතිවරයෙක්” බවයි. එනම් දෙවියන්වහන්සේ වෙනුවෙන් කථා කරන කෙනෙක් බවයි (20 පදය). අපත් එසේමය. ජනතාව අපගේ පණිවුඩය ප්‍රතික්‍ෂේප කරන්නේ නම් ඔවුහු පණිවුඩය එවූ තැනන්වහන්සේවත් ප්‍රතික්‍ෂේප කරති. දෙවියන්වහන්සේ අපත් සමගම මෙම ප්‍රතික්‍ෂේපයන් අත්විඳින සේක.

එසේ නම් අපට කථා කිරීමට බල කරන්නේ කුමක්ද? දෙවියන්වහන්සේ මෙන් අපද මිනිසුන් ගැන සැළකිලිමත් වන්නෙමු (2 පේත්‍රැස් 3:9). අවසානයේදී කැතරින්ට කථා කිරීමට මට මග පෙන්වූයේ එයයි. පුදුමයට කරුණ නම් ඇය මාව ප්‍රතික්‍ෂේප නොකිරීමය. ඇය මට සවන් දුන්නාය. ඇය ප්‍රශ්න ඇසුවාය. මගේ අවදානමට ලැබුණු ත්‍යාගය මහත්ය.