ජෝන් නෑෂ් 1994 දී ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබූවේ ගණිතය පිළිබඳ ඔහුගේ පුරෝගාමී මෙහෙය අගයමිනි. තරඟකාරිත්වයේ ගතිකත්වය (වෙනස්කම් ඇති කිරීමට පොළඹවන බලයන්) අවබෝධ කර ගැනීම සඳහා ඔහුගේ සමීකරණ ලොව පුරා ව්‍යාපාර විසින් භාවිතා කර ඇත. පොතකින් සහ පූර්ණ දිගු චිත්‍රපටියකින් ඔහුගේ ජීවිතය ලේඛණගත කර ඇති අතර ඔහු “ලස්සන මනසක්” ඇති අයෙක් ලෙස හඳුන්වනු ලබයි. එනම් ඔහුගේ මොළයට කිසියම් සෞන්දර්යාත්මක ආකර්ශණයක් තිබූ නිසා නොව එය කළ දේ නිසාය.

පැරණි ගිවිසුමේ අනාගතවක්තෘ යෙසායා පාද විස්තර කිරීමට “අලංකාර” යන වචනය භාවිතා කරන්නේ පෙනෙන භෞතික ගුණාංගයක් නිසා නොව ඔවුන් කළ දේවල අලංකාරය දුටු බැවිනි. “යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද?” (යෙසායා 52:7). දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස නොකිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් බබිලෝනියේ අවුරුදු හැත්තෑවක වහල් භාවයෙන් පසු “මක්නිසාද ස්වාමින්වහන්සේ ….. යෙරුසලම මුදා ගෙන ඇති” (9 පදය) හෙයින් දෙවියන් වහන්සේගේ සෙනග ඉක්මණින් ආපසු ගෙදර යන බවට දිරිගන්වන සුලු වචන සමගින් පණිවුඩකරුවන්
පැමිණියහ.

සුභ ආරංචියට ඊශ්‍රායෙල්වරුන්ගේ යුධ ශක්තිය හෝ වෙනත් මිනිස් උත්සාහයක් ආරෝපණය කර නැත. ඒ වෙනුවට ඔවුන් වෙනුවෙන් වූ දෙවියන්වහන්සේගේ “ශුද්ධවූ හස්තයේ” ක්‍රියාවක් සිදු විය (10 පදය). ක්‍රිස්තුස් වහන්සේ අප වෙනුවෙන් කළ පූජාව තුළින් අපගේ ආත්මික සතුරාට එරෙහිව අප ජයග්‍රහණය ලබන බැවින් අදද එය එසේම වේ. ඊට ප්‍රතිචාර වශයෙන් අප අවට සිටින අයට සමාදානය ප්‍රකාශ කරමින් යහපත් දේ සහ ගැළවීම ප්‍රකාශ කරන ශුභාරංචියේ පණිවුඩකරුවන් බවට අපි පත් වන්නෙමු. එසේම අප එය කරන්නේ අලංකාර පාද වලිනි.