පුළුල් ලෙස බෙදා හැරුණු වීඩියෝවක අලංකාර ලෙස ඇඳ පැළඳගත් වයසක කාන්තාවක් රෝද පුටුවක වාඩිවී සිටියාය. කලක් ප්‍රසිද්ධ බැලේ නර්තන ශිල්පිනියක් වූ මාර්ටා ගොන්සාලෙස් සල්දානා නැමැති මෙම කාන්තාව දැන් ඇල්සයිමර් (මොළේ ආබාධයකින්) රෝගයෙන් පෙළෙන්නීය. නමුත් වයිකොව්සිකිගේ “හංස විල” නැමැති ගීතය ඇයට වාදනය කරන විට පුදුම සහගත දෙයක් සිදු වේ. සංගීතය ගොඩ නැගෙන විට ඇගේ දුර්වල දෑත් සෙමෙන් ඉහළට එසවේ. පළමු හොරණෑව ශබ්ද නගන විට ඇය තම පුටුවේ සිට රඟ දැක්වීම ආරම්භ කරන්නීය. ඇගේ මනස සහ කය විනාශ වෙමින් තිබුණද ඇයගේ දක්‍ෂතාවය තවමත් පවතියි.

එම වීඩියෝ පටය ගැන කල්පනා කරද්දී මගේ සිතුවිලි 1 කොරින්ති 15 හි නැවත නැගිටීම පිළිබඳ පාවුල්ගේ ඉගැන්වීම වෙතට ගියේය. අපගේ ශරීරය පැළයක් බවට පත්වීමට පෙර වළලනු ලබන බීජයකට සමාන කරමින් එතුමා පවසන්නේ ශරීරය වයසට යාමෙන් හෝ අසනීප වීමෙන් හෝ විනාශ විය හැකි වුවද එසේම අගෞරවයේ මූලාශ්‍රයෙන් සහ දුර්වලතාවයෙන් විනාශ විය හැකි වුවද ඇදහිලිවන්තයන්ගේ ශරීර නැවත නැගිටුවන්නේ නොනැසී පවතින තේජස සහ බලයෙන් පිරී ආත්මික ශරීර ලෙසය (42-44 පද). බීජය සහ ශාඛය අතර ඓන්ද්‍රීය සම්බන්ධයක් පවතිනවා සේම අපගේ නැවත නැගිටීමෙන් පසු අපි “සැබවින්ම අපි” වන්නෙමු. අපගේ පෞර්ෂයන් සහ කුසලතා නොවෙනස්ව නමුත් පෙර නොවූ විරූ ලෙස සමෘධිමත් වනු ඇත.

හංස විලෙහි සිත සසල කරන තනුව වාදනය වීමට පටන් ගත් විට මාර්ටා, සමහර විට ඇය කලින් සිටි සහ තවදුරටත් කළ නොහැකි දේ ගැන සිහි කරමින් පහත් බැල්මක් හෙළා ගෙන සිටියාය. ඒත් එක්කම මනුෂයයෙක් අවුත් ඇගේ අතින් අල්ලා ගත්තේය. අපටත් එසේම වනු ඇත. හොරණෑව පිඹිනු ලබන්නේය (52 පදය). අතක් දිගු වනු ඇත. වෙන කිසි දිනෙක නොවූ විරූ තරම් අපි නැටීමට නැගී සිටීන්නෙමු.